ගම්පහ පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් යතුරුපැදිකරුවකු මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇතැයි පොලිසිය කියයි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතාගේ මෙහෙයවීම යටතේ සහකාර පොලිස් අධිකාරී සඳසිරි බණ්ඩාර මහතා ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් පරිදි කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී ඊ විදිසිංහ මහතා ද පරීක්ෂණ ආරම්භ කර ඇත.
අණ නොතකා ගමන් කළ යතුරු පැදිය පොලිස් නිලධාරීයකු හප්පා පළා යන්නට තැත් කරද්දීම වෙඩි තැබූ බව පොලිසිය කියයි. යතුරු පැදියේ ගමන් කළ අනෙක් තරුණයා කියනුයේ පොලිස් අණ අනුව යතුරු පැදිය නතර කළ පසු පොලිසිය වෙඩි තැබූ බවයි.
සිද්ධිය වන අවස්ථාවේ පොලිසියේ පස් දෙනකු පමණ එම ස්ථානයේ සිට ඇති බව පොලිස් ආරංචි කියයි.

