වැව හාරන මුවාවෙන් වැලි හැරීමක් අනුරාධපුර පලාගල පරවහගම ග්‍රාම නිලධාරී වසමේ රත්මල්ගහවැවේ ක්‍රියාත්මක වෙන බවත් යන්ත්‍ර සුත්‍ර යොදා වළවල් හැරිම පස් සේදීම නිසා සතකුට හෝ වැවට පැමිණීමට නොහැකි බවත් කියති.
උතුරු මැද වාරිමාර්ග අමාත්‍ය එච් .බී.සේමසිංහ මහතා එකවරම කියා සිටියේ මේ පිළිබඳව තමන් කිසිම දෙයක් නොදන්නා බවය. දිගින් දිගටම ලංකාදීපය මේ පිළිබඳව ඇමැතිවරයාගෙන් කරුණු විමසා සිටියේ වසර ගණනාවක් ඉතා ප්‍රසිද්ධියේ සිය අමාත්‍යංශයේ නාමය රජයේ නාමය භාවිතා කරගෙන යන වැලි සේදීම අලෙවි කිරීම නොදන්නවා යයි පැවසීම පිළිගැනීමට නොහැකි බවයි.
දුරකථනය විසන්ධි කළ ඇමැති පැයකට පමණ පසු නැවත අපට ඇමතුමක් ගෙන මෙසේ කිවේය. ‘මම මේ ගැන වාරිමාර්ග ප්‍රධානීන්ගෙන් අහලා බැලුවා. ගොවි සංවිධානයේ ඉල්ලීමක් මත වැව හාරන්න රොන් මඩ ඉවත් කරන්න අවසර දීලා තියෙන්නේ‘
අපට පුළුවන්ද ඒ වාරිමාර්ග නිලධාරියාව සම්බන්ධ කරගන්න යැයි අප විමසීමක් කළෙමු ‘නෑ මගේ ළග නොම්බර නෑ ගිහින් මුණගැසෙන්න‘ යයි කිවේය.
වසර දෙකකට ආසන්න කාලයක් මේ වැව හැරීම සිදුකරගෙන යන බවත් මේ වනතුරුත් සිදුකර ඇත්තේ වැලි සෝදන රොන් මඩ වලින් වැව පිරී ඇති බවත් ගොවිතැනට සතා සිව්පාවාට ජලය අහිමි කිරීමද ඉපැරණි වටිනා ගස් කොළන් ටික විනාශ කිරීම මේ වනවිට සිදුවන බවත් අපි හෙළි කළෙමු.
මේ ප්‍රදේශය හා වැව කහල්ල පල්ලෙකැලේ වනජීවී කලාපයට අයත් ය. වනජීවී කලාපයක මේ ආකාරයෙන් යන්ත්‍ර සුත්‍ර යොදාගෙන රජයේ හා දේශපාලන අධිකාරියේ නම් කියමින් ජනතාව බියගන්වා මෙය සිදු කරන බවත් හෙට අනිද්දා වර්ෂාව ලැබුණහොත් මේ වැව විශාල අනතුරකට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් ගම්මු කියති.