දෙහිඕවිට හිඟුරලකන්ද දීගලවත්තේ තමා පදිංචි ඉඩම දෙහිඕවිට ප්‍රාදේශීය සභාවෙන් කොම්පොස්ට් ව්‍යාපෘතියකට ගැනීමට යන බවත්, ණය වී හදාගත් තම නිවස අහිමිවීමෙන් යන එනමං නැතීවන බවත් තුන් දරු මවක වන එදිරිසිංහ ආරච්චිගේ පත්මා (37) මහත්මිය කියන්නීය.
ඇයට හෝ අන්කිසිවකුටත් නිවාසයක් හදා නොදී මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව දෙහිඕවිට ප්‍රාදේශීය සභාපති අමිල රුවන් කන්දේආරච්චි මහතා කියයි.
තම සැමියා පිත්තල බඩු ඔබ දැමීම කරන බවත්, එයින් ලැබෙන මුදල් දරුදෙදෙනා නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, ඒ නිසා පලා වර්ග කඩා පොළට ගොස් විකුණා ජීවත් වන බවත් ඇය පවසන්නීය.
පත්මාගේ ලොකු පුතා 11 ශ්‍රේණියේ ද, වැඩිමල් දියණිය හය වැනි ශ්‍රේණියේ ද ඉගෙන ගනිති. අවුරුදු හතරක් වූ අනෙක් දියණිය පෙරපාසල් යන්නීය.
ඔවුන් දීගලවත්තේ පදිංචියට පැමිණ ඇත්තේ 2002 වසරේය. ණයක් ගෙන කාමරයක් සහ කුස්සියක් පමණක් සහිත කුඩා නිවසක් සාදාගෙන ඔවුහු ජීවත් වෙති. ගෙදරට යෑමට නිසි මාර්ගයක් නැති අතර ගෙය සෑදීමට ගල් ගෙනැවිත් ඇත්තේ කර මත තබාගෙනය.
උඳුපියලියා, ගොටුකොළ,බරු ආදී පළා වාර්ග සොයාගෙන ඇහැලියගොඩ පොළට ගොස් විකුණා නැවත නිවසට යෑමට ගමන් වියදම පමණක් රුපියල් 80කි.
මාතර කිරින්ද පුහුල්වැල්ලේ උපන් ඇය අපොස උසස්පෙළ දක්වා උගෙන ගත්තේය.
‘අපි ඉන්න හැටි කන හැටි දන්නේ අපි විතරයි. අපි හරි දුප්පත්. පලා කොළයි කුළී වැඩයි නැත්නම් අපට පණ ගැට ගසා ගන්න ක්‍රමයක් නැහැ.‘ යැයි පදිංචි ඉඩම වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ සිට ජනපති දක්වා ලියූ ලියුම් කිලෝ බාගයක තරම් ලිපි ගොනුවක් පෙන්වමින් ඇය කීවාය.
‘මට සබන් හදන්න පුළුවන්. ඒත් අච්චු ආදිය මිලට ගන්න වත්කමන් තැහැ‘යි ඇය කියන්නීය.
මුල්‍ය ආයතනයක ණයක් ගැනීමට 2012 ජනවාරි 16 වැනිදා ඇය යොමු කර ඇති අයදුම්පත්‍රයක දේහිඕවිට ප්‍රාදේශීය ලේකම් නාලිකා පියසේන මහතා විසින් ඇගේ ස්ථිර පදිංචිය තහවුරු කර ඇත.
කොම්පෝස්ට් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් උන් හිටි තැන අහිමි වී තමනට සිදුවන අවැඩ ගැන පත්මා මහත්මිය ජනපති, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති, ප්‍රාදේශීය ලේකම් ඇතුළු වගකිවයුත්තන්ට දැනුම් දී ඇත.
දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් කන්දෙආරච්චි මහතා පැවසුවේ කොම්පොස්ට් ව්‍යාපෘතියට ආරම්භ කරනුයේ එම ඉඩමේ පදිංචිකරුවනට වෙනත් ස්ථානයට නිවාස ඉදිකර දීමෙන් පසුව බවයි.
‘මේ ඉඩමේ පවුල් තුනක් ඉන්නවා. ඉන් පවුල් දෙකක් අනවසර පදිංචිකරුවෝ. මේ ඉඩම අක්කර තිස් ගානක ඉඩමක්. ඒකේ මැනුම් කටයුතු දැන් ඉවරයි. අපි මේ පවුල්වලට නිවාස හදලා දෙන්න පිඹුරුපත් සකසලයි තිබෙන්නේ. මේ ඉඩමෙම වෙනත් ස්ථානයක ඔවුනට නීත්‍යනුකූලව වර්ග අඩි 700ක විතර නිවාසයක් හදා දෙනවා. ඉන් පස්සේ තමයි ඔවුන් ඉවත් කරන්නේ. එක් නිවාසයකට රුපියල් හත් ලක්ෂයක් විතර වියදම් වේවි. එම වියදම අපි දරනවා. කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්නේ නෑ.