පර්වේස් මුෂාරෆ් උසාවියෙන් ලිස්සා යයි


පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ස්ලාමාබාද් මහාධිකරණ භූමියෙන් ලිස්සා ගියේය.

ඔහුට එරෙහිව ශ්‍රේෂාඨාධිකරණ විනිසුරු සවුකත් අසීස් සිද්ධික් විසින් පැවරුණු නඩුවෙන් ඔහුගේ ඇප අවලංගු කළ වහාම ඔහු සිය ආරක්ෂකයන් සමග වෙඩි නොවදින මොටර්රථයෙන් පලා ගියේය.

2009දී ඔහු අගවිනිසුරු ඉෆ්තිකාර් මහමුද් චවුද්‍රි ඇතුළු විනිසුරුවරුන් හැට දෙනකු පමණ  රඳවා ගත්තැයි කියන සිද්ධිය පිළිබඳ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ඔහුගේ ඇප අවංගු කැරිණි.

පකිස්තාන පොලීසිය පැවසුවේ හිටපු ජනරාල් ඔහුගේ ගොවිපළට ගොස් සිටි බවයි.

පොලීසිය එහි ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කළැයි මේ අතර ඉස්ලාමාබාද් මහාධිකරණය කියයි.

වසර හතරක් රටින් පිටුවහල්ව සිටි මුෂාරෆ් ගියාමාසයේ පකිස්ථානයට පැමිණියේ මැයි 11 වැනිදා මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහාය. එහ්‍තේ ආසන හතරකින්ම ඔහු විසින් ඉදිරිපත් කැරුණු අයදුම්පත් මැතිවරණ කොමිසම විසින් ඉවත දැමිණි.