‘‘ඇත්තටම මම හරි සරලයි. හිනාවෙලා, විනෝදයෙන් පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. අනුන්ගේ වැඩ ගැන බලනවාට වඩා, මාගේ වැඩක් කරගෙන කා එක්කත් හොඳින් ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම මට හිතෙන විදියට මම හරි සරලයි.
මේ විදියට කියන්නේ, මේ දිනවල විකාශය කෙරෙන මිනි මහිම ටෙලි මාලාවේ ‘සිලූනි’ නමැති චරිතය රඟපාන රශී ප‍්‍රභා සංදීපනී යොවුන් ශිල්පිනියයි. මෙම චරිතයට අමතරව ඇය විකාශය කෙරෙන ‘‘රෑන’’ නාට්‍ය මාලාවේ චරිතයකින්ද අපට හමුවන්නීය. මීට අමතරව වේදිකා නාට්‍ය නිර්මාණයක් සමගත් පේ‍්‍රක්‍ෂකයන්ට හෙට දින ඇය දැක ගත හැකි වේවි. මේ රශී ප‍්‍රභා කවුද? රංගනයෙන් බොහෝ දුර යා හැකි දක්‍ෂතා ඇති මේ යොවුන් ශිල්පිනිය සමග අපි කතා බහකට එක්වෙමු.
රශී ප‍්‍රභා සංදීපනී, ඒ අතරින් වැඩිපුරම ඔබ අමතන්නේ මොන නමින්ද?
රශී කියලා.
පවුලේ විස්තර?
අම්මයි- තාත්තයි, මමයි මල්ලියි
රඟපෑමට පැමිණීම අහම්බයක්ද? නැත්නම් අරමුණක ඵලයක්ද?
පොඩි කාලයේ ඉඳලාම ස්වාධීන රූපවාහිනියේ ළමා නිවේදිකාවක ලෙස කටයුතු කළා. නමුත් ඇත්තටම රඟපාන්න ලැබුණේ නම්, අහම්බයකින්. චංචලා බුලත්වත්ත නිෂ්පාදිකාව නිසා තමයි ඒ අවස්ථාව ලැබුණේ. වැහිලිහිනි ටෙලිනාට්‍යයේ තමයි මුලින්ම රඟපෑවේ. ඉන්පසුව ආත්තම්මා, හිරු තනිවෙලා, මිනි මහිම සහ සියත රූපවාහිනියේ විකාශය වූ නිර්මායා සහ සිරසේ විකාශය කෙරෙන රෑන නාට්‍යවල රඟපෑමට ලැබුණා. මේ දිනවල තවත් අලූත් ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම්වලට දායක වෙනවා.
‘‘පරණ පිනක්’’ හිසේ කඩාගෙන වැටෙන්න යනවා කියන්නේ?
ප‍්‍රවීන රංග හා නාට්‍ය වේදිනි දමයන්ති ෆොන්සේකා මහත්මිය තමයි ඒ පින ලබා දුන්නේ. ඇත්තටම වේදිකා නාට්‍යයක රඟපෑමට ලොකු ආසාවක් මට තිබුණාට දමයන්ති ෆොන්සේකා මහත්මිය නිසා ඒ අරමුණ ඉටු වුණා. ‘පරණ පිනක්’ වේදිකා නාට්‍ය මෙම 29 වැනිදා වේදිකාගතවීම ඇරඹෙනවා.
රශී රඟපෑම විතරමද කරන්නේ? ඒ කියන්නේ ඔබ වෘත්තීය ලෙස කරන්නේ රඟපෑම ද?
උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න සූදානමින් සිටින්නේ්. කලා අංශයෙන් උපාධිය ලබා ගැනීම තමයි අරමුණ.
වෙනත් රැකියාවක් ගැන නොසිතා රඟපෑම ගැනම හිතුවේ ඇයි?
කුඩා කාලයේ ඉඳලාම පාසලේදී නැටුම්- ගැයුම් ආදී දේ කළා. මාව කලාවට යොමු කළේ ගංගා පරණවිතාන ගුරුතුමියයි. පසුව පාසල් කාලයේදී සමස්ත ලංකා මට්ටමින් හොඳම නිළිය සම්මානය පවා ලැබුවා. ඉගෙන ගත්තේ, මොරටු මහා විද්‍යාලය සහ පානදුර බාලිකා විද්‍යාලයෙන්.
ඔයාගේ මුහුණ ගැන ගොඩක් අය කතා වෙනවා නේද?
කම්මුලේ තියෙන ඩිම්පල් එක සහ දිගු කොණ්ඩය නිසා තමයි ගොඩක් අය කතා වෙන්නේ. අක්කි ඔයාගේ කොණ්ඩෙට ආසය කියලා චූටි නංගිලා මගේ ළඟට ඇවිත් කියනවා.
රඟපෑම කියන විෂය ගැන ඔබට කොහොමද හිතෙන්නේ?
මම හිතන්නේ චරිතයක් රඟපාද්දී අපි ඇතුළාන්තයෙන්ම ඒ චරිතයට සමීප වෙන්න ඕනෑ. එතැන දී සැබෑ ජීවිතයේ දී මගේ චරිතය අමතක කරන්න ඕනෑ. ඒ විදියට රඟපෑමට අනුගත වෙන්න නම් බොහෝ දේ හැදෑරීම කළ යුතුයි. බොහෝ ප‍්‍රවීණයින් මට බොහෝ දේ කියලා දෙනවා. රංගනයෙන් හොඳම දෙයක් කිරීම තමයි ලොකුම අරමුණ.
සංඛේත්, කසුන් හොඳම යාළුවෝ නේද?
රෑන සෙට් එකේ ඔක්කෝමලා හොඳම යාළුවෝ.
එත් හොඳම යෙහෙළිය ‘විනූ’ නේද?
විනූ සිරිවර්ධන තමයි ක්ෂේත‍්‍රයේ හොඳම යෙහෙළිය. නිලූක්‍ෂි ප‍්‍රනාන්දු, සුභාෂිනී (රෑනේ) ගොඩක් හිතවත්. ඒ වගේම නිල්මිණි තෙන්නකෝන්, දමයන්ති ෆොන්සේකා සහ මානෙල් වානගුරු මහත්මීන්ගේ ගොඩක් උපදෙස් ලැබෙනවා.





