පනහ පිරෙන අයට වෛද්‍ය සංගමයෙන් තිළිණයක්


(අංජුල මහික වීරරත්න)

ප්‍රජාවගේ  සුවතාවය වැඩිදියුණු කරළීමේ අදහසින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මූලිකත්වයෙන්  වයස අවුරුදු 50 සම්පූර්ණ කරන සෑම වෘත්තිකයකුටම සහ  සෑම පුරවැසියෙකුටම "ඔබේ සෞඛ්‍යය ඔබේ ධනයයි - ඔබේ ජාතියේ ද ධනයයි" යන ජාතික පණිවිඩය සමඟ සුබ පැතුම් එක් කරමින් සුබ පැතුම් කාඩ් පතක් ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), ශ්‍රී ලංකා විද්වත් වෘත්තීය සංගම් සංවිධානය (OPA) සමඟ සහයෝගයෙන්, පවත්වන්ට යෙදුන තිරසාර අනාගතයක් සඳහා කර්මාන්ත, දේශගුණය සහ සෞඛ්‍ය යන ත්‍රිත්ත්ව සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණයේ දී මෙම කරුණු අනාවරණය විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.

මෙම  සුවතා උපන්දින කාඩ්පත හදුන්වාදීම ද මෙහිදී සිදු වූ අතර, එම සුබපැතුම් පතින් තවදුරටත් නිරෝගීමත්ව ජීවිතය ගත කිරීම සඳහා සෞඛ්‍යමය උපදෙස් හා පණිවුඩ ද ලබාදෙනු ලබයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා  මෙහිදී පැවැසූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් රැසක් සමග සමීපව කටයුතු කරමින් ඉදිරි වසර 5 තුළ ප්‍රජාව මූලික කරගත් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි.