පද්මේලා එක්ක හාදකම් පෑ හිටපු මැති ඇමති රොත්තක් ගැනත් විමර්ශන


(සුජිත් හේවාජුලිගේ)

කෙහෙල් බද්දර පද්මේ සහ කුඩු සළිඳු ඇතුළු පාතාලකරුවන් පස්දෙනා සමග මුල් කාලයේදී සබඳතා පැවැත් වූ බව පැවසෙන හිටපු ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් අට දෙනෙකු සහ කලාකරුවන් කිහිප දෙනෙකු පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන්  දුරකතන වාර්තා විශ්ලේෂණය කරමින් පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යන බව පොලිසිය පවසයි.

එසේම මෙම පාතාලකරුවන්  සමග සබඳතා පැවැත්වූ බව පැවසෙන රජයේ නිලධාරීන් පිරිසක් පිළිබඳවද විමර්ශන අංශවල ඉහළ   අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු  අමාත්‍ය ආනන්ද විජේපාල  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම පාතාලකරුවන් සහ දේශපාලනඥයන් කිහිප දෙනෙකු අතර මුල් කාලයේ තිබූ සබඳතා කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවයි.

කෙහෙල්බද්දර පද්මේ සහ  කුඩු සලිදු ඇතුළු ප්‍රධාන පෙළේ පාතාලකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් සමග ගනුදෙනු පැවැත්වූ ප්‍රසිද්ධ පාතාල නායකයන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ ගෝලබාලයන් පනහකට ආසන්න පිරිසක් සිය ගම්බිම් අතහැර ගොස් ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මෙසේ පලා ගොස් ඇති වැඩි පිරිසක් දකුණු පළාතේ සහ  බස්නාහිර පළාතේ   අය වෙති.

එසේම මෙම පාතාලකරුවන් පස්දෙනා සමග කිට්ටු සබඳතා පැවැත්වූ බව කියන විදේශයන්හි සිටි  තවත් පාතාල නායකයන් තිදෙනකු  වෙනත් රටවලට පලා ගොස් ඇතැයි පවසන එම ආරංචි මාර්ග එසේ පලා ගොස් ඇති පාතාලකරුවන් සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශන  ආරම්භ කර ඇතැයිද  ප්‍රකාශ කළේය.

කෙහෙල්බද්දර පද්මේ සහ  කුඩු සලිදු ඇතුළු පාතාලකරුවෝ  පස්දෙනා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන එනු ලැබූහ. විමර්ශන නිලධාරීහු  ඔවුන් තැන් කිහිපයක රඳවා ප්‍රශ්න කරමින් සිටිති.