(ගයාන් සූරියආරච්චි පදවියේ පියදාස සමරවීර)
පදවිය පොලිස් බල ප්‍රදේශයට අයත් බලයාවැව සූරියවැව ප්‍රදේශයේ 74 හැවිරිදි තිදරු මවක වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වැරැදීමකින් බව අත්අඩංගුවට ගත් මෙම ඝාතනයේ වෙඩික්කරු ලෙස සැලකෙන යුද හමුදාවෙන් පලා ආ සෙබළාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවිණියැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
ඝාතනය කිරීමට නියමිතව සිට ඇත්තේ මෙම වයෝවෘද්ධ කාන්තාවගේ මිනිබිරිය යැයි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් ඊයේ (8) පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු සෙබළාට ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන වැලිඔය ප්‍රියන්ත නමැත්තා මෙම වයෝවෘද්ධ කාන්තාවගේ මිනිබිරිය ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව බාර දී තිබෙන බව වැඩිදුර විමර්ශනවල දී හෙළිවිණියැයි ද පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
-------------------------------
පදවියේ කාන්තා ඝාතනයේ වෙඩික්කරු කොටුවෙයි
(අමදෝරු අමරජීව )
ටී-පනස් හය ගිනි අවියක් රිවෝල්වරයක් හා ජීව උණ්ඩ සමග වැලිඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් වැඩිදුර කළ ප්‍රශ්න කිරීමේදි පදවියේ කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු හා යතුරු පැදිය සමඟ පැදිකරු ඊයේ (07) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පදවිය පොලිස් වසමට අයත් බෝගහ වැව ප්‍රදේශයේදී ඉකුත් 05 දා අවුරුදු 73 ක කාන්තාවක් ඝාතනය කිරීමට මෙම ගිනි අවිය හා යතුරුපැදිය යොදාගෙන තිබිණැයි පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි .
ගිනි අවි හා උණ්ඩ තබාගත් අය වයස අවුරුදු හතළිස් දෙකක් වන කිරි ඉබ්බන්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඝාතකයා හා යතුරු පැදිකරු වයස අවුරුදු විසි හයක් හා තිහක් වන මහියංගනය හා ඇහැටුවැව ප්‍රදේශවල පදිංචිකරුවො වෙති.
වෙඩික්කරු යුද හමුදාවේ සේවයේ නියුතුව නීත්‍යානුකූලව ඉවත් නොවූ අයෙකු බවද දැනගන්නට ඇත.