පඬු අබා රැකි ගමට නව සෑයක්


පණ්ඩුකාභය රජුගේ ළමා කාලය ගෙවුණු මිහින්තලේ ඵෙතිහාසික දොරමඬලාව ගම්මානයේ පිහිටි දොරමඬලාව රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ගර්භ විහාර මන්දිරය සහිත චෛත්‍ය රාජයාණන්ට කොත් පැළඳවීම හා විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යොත්සවය මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 10 වැනිදා සිදුකිරීමට නියමිතය.

ව්‍යාපාරික උදිත ප්‍රසංග ප්‍රනාන්දු මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකැරුණු මෙහි කොත නිරාවරණය එදින පෙරවරු 8.28 ට ප්‍රනාන්දු මහතා අතින් සිදුවන බව විහාරාධිපති පමුණුවේ සුමණජෝති හිමියෝ කියති.

ඒ වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහන් පෙළ අනුව අප්‍රේල් 8 වැනිදා පෙරවරු 9ට ගෝනෑව මංසන්ධියේ සිට කොත් වහන්සේ රැගත් පෙරහර විහාරයට වැඩමවීම හා එදින රාත්‍රී 7ට ශ්‍රී විෂ්ණු පූජාව පැවැත්වෙන අතර අප්‍රේල් 9 වැනිදා පෙරවරු 6.21ට කොත් වහන්සේ පැළඳවීමත් එදිනම රාත්‍රී 8ට බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමත් සිදුකර සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් 10 වැනි දින කොත නිරාවරණයෙන් පසු පෙරවරු 8.31 ට ධාතූන් වහන්සේ සහිත කරඬුව තැන්පත් කිරීමෙන් පසු පෙරවරු 9 ට උත්සව සභාව ආරම්භ වේ. එදින පෙරවරු 10.30 ට බුද්ධ පුජාව හා දහවල් සංඝගත දක්ෂිණාව පැවැත්වේ. රාත්‍රී 7ට කප්රුක් පූජාව සහිත අටවිසි බුද්ධ පූජාව පවත්වා රාත්‍රී 8.30ට පැවැත්වෙන මල්වෙඩි සංදර්ශනයෙන් වැඩසටහන අවසන් කිරීමට නියමිතය.

DSC03176 DSC03177 DSC03178 DSC03179 DSC03180

DSC03181 DSC03182