ආහාර හිඟය නිසා මියන්මාර යාත්‍රාවෙන් පණ පිටින් මුහුදට දැමූ බව කියන මියන්මාරයේ විසි හැවිරිදි තරුණයෙක් කුඩා වැල්ලෙන් මුහුදු ගිය ‘සුදු බේබි‘ බහුදින යාත්‍රාවෙන් සෙනසුරාදා (16) ගොඩ බිමට රැගෙන ආවේය.
දින ගණනාවකින් කෑමක් නොලත් ඔහු තංගල්ල රෝහලට ඇතුළු කරනු ලැබීය.
පොලිස් භාෂා පරිවර්තකයකු මගින් ඔහු පැවසුවේ තවත් 95 දෙනකු පමණ මූදට දැමූ බවයි. ඒ අය මිය ගොස් සිටි බව පෙනුණු බව ඔහු කියා ඇත. ඔවුන් ද දින ගණනාවක් නිරාහාරව සිටි බව ඔහු කියයි.
මලයාසියාවේ රැකියා දෙන බව කියමින් මියන්මාරයේ පුද්ගලයකු 130 දෙනකු පමණ පසුගිය ජනවාරි 13 වැනිදා මලයාසියාව බලා පිටත්කළ බව ද ඔහු කියා ඇත.
තායිලන්තයේ නාවික හමුදාවේ බව සිතිය හැකි පිරිසක් අතරමගදී තම යාත්‍රාවේ ඇන්ජිම ගලවා ගත් බව ද, ඉන් පසු යාත්‍රාව පාවෙමින් තිබූ බව ද ඔහු කියයි.
තමන් රැගෙන ගිය යාත්‍රාවේ කපිතාන් තමාට පහර දුන් බව ද ඔහු කියයි.