ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ වංචා දූෂණ සෙවූ ජේ සී වැලි අමුණ කමිටුවෙන් චෝදනා නඟා ඇති ප්‍රධානියකුට එම වාර්තාවෙන් පසු දෙවැනි වරටත් සඳුදා (22) සේවා දිගුවක් ලබා දී ඇතැයි ශ්‍රී ලංකන් එයාර් ලයින් ආරංචි මාර්ග කියයි.
ඔහු 2012 ජනවාරි මාසයේ සේවයට බඳවාගෙන ඇත්තේ නිසි කාර්ය පටිපාටියකින් තොරව බව සඳහන් කර ඇති වැලිඅමුණ වාර්තාව ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නිර්දේශ කර තිබේ.
2015 ජනවාරි මාසය වන විට එම ප්‍රධානියාගේ මාසික වැටුප රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ බව ද එම වාර්තාවේ සඳහන් විය.
වැලි අමුණ කමිටුවෙන් නඟා ඇති තවත් චෝදනාවක් වනුයේ ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ඡන්ද විචාරක වැඩට එයාර් ලංකා සේවකයන් මුදා හැරිම බව සඳහන් වෙයි.
එම වාර්තාවෙන් පසු 2015 නොවැම්බර 20 වැනි දා යළි ඔහුට සේවා දිගුවක් ලබා දී ඇති අතර එම කාලය පසුගිය 20 වැනි දා අවසන් විය.
ඒ අනුව ශ්‍රී ලංකන් එයාර් ලයින්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව ඔහුට යළි මාස හයක සේවා දිගුවක් ලබා දී තිබේ.
ශ්‍රී ලංකන් එයා ලයින් ආයතනයේ සභාපති අජිත් ඩයස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ එම ප්‍රධානියාගේ සේවය මාස හයකින් දිගු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බවයි.
‘ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ සිකියුරිටි කොමිසමක ඔහු ඉන්නවා. මේ අවස්ථාවේ ඔහු වගේ අත්දැකීම් ඇති හොඳ පුද්ගලයෙක් හොයාගන්න අමාරුයි. ඒ නිසා තමයි ඔහුගේ සේවය දීර්ඝ කරන්නේ. ‘ යැයි ඔහු කීවේය.
වැලිඅමුණ වාර්තාවෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති නිසා සේවය දීර්ඝ කිරීම සුදුසුදැයි විමසූ විට සභාපති කීවේ වැලිඅමුණ වාර්තාවේ ඇතැම් දෑ සියයට සියයක් නිවැරදි නොවන බවයි.
ජාතික සේවක සංගමයේ ප්‍රකාශකයකු කීවේ මේ නිලධාරියාගේ සේවය දිගු නොකරන ලෙස අගමැතිගෙන් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවයි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු කීවේ මොහුගේ සේවය දිගු නොකරන ලෙස ශ්‍රී ලංකන් එයා ලයින් සමාගමට දැනුම් දී තිබූ බවයි. එහෙත් සේවය දිගු කරන බව අමාත්‍යංශය නොදැන සිටි බවත්, එය දැන ගත් වහාම එම ආයතනයෙන් කරුණු විමසීමට කටයුතු කළ බවත් ඔහු කීවේය.