කඹුරුගමුව ගොඩකවෙල නම් සුන්දර ගම්මානයේ සිට රංගන ආසාව නිසාම කොළඹ ටෙලිවිව් ආයතනයේ පවත්වන ලද රංගන පාසලට පැමිණි සමන්ත වීරකෝන් රංගනයට පිවිසෙන්නේ වේදිකාව හරහාය.
සුගත් සමරකෝන් නම් කලා ලොව එකලූ කරනා ජ්‍යෙෂ්ඨ මිනිසාගේ මඟපෙන්වීම යටතේ සාර්ථකව රංගන අධ්‍යාපනය නිමකරන වීරකෝන් අද වනවිට ටෙලි නාට්‍ය 50ට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකවී ඇත. ”සුන්දර බණ්ඩා” වේදිකා නාට්‍යයේ නිෂ්පාදකවරයා වූ ඔහු ටෙලි නාට්‍ය සිනමා පට කීපයක සහය අධ්‍යක්ෂකවරයකු ලෙසද කටයුතු කර ඇත.
වේදිකාව, ටෙලි නාට්‍ය හා සිනමාව සැරසූ ඔහු මෙවර දැකගත හැක්කේ අපේ කාලේ පටාචාරා නම් සිනමා පටයේ පටාචාරාගේ සොයුරා වූ භානුක චරිතයෙනි. ඔහුගේ නවක තතු සදැල්ලට දැක්වූයේ මෙසේය.
පටාචාරා සිනමා පටය පිළිබඳව කතා කළොත්? 2014 වසරේ සුනාමි ව්‍යසනය ඇති වුණා. එහිදී බොහෝ දෙනෙක් විවිධ කරදරවලට පත්වුණා. අපේ කාලේ පටාචාර කතාව ආරම්භ වන්නේ පටාචාරාට සේම සියළු දේ අහිමි වී මානසික රෝහලක ප‍්‍රතිකාර ලබන කාන්තාවකගෙන්. ඇයට මෙහෙණින් වහන්සේ කෙනෙක් පටාචාරා ජාතක කතාව දේශනා කරනවා. ඒ ඔස්සේයි පටාචාරා අතීත කතාව දිග හැරෙන්නේ.
පටාචාරාහි ඔබ නිරූපණය කරන චරිතය පිළිබඳව කතා කළොත්
මම පටාචාරාගේ සහෝදරයා වූ භානුකගේ චරිතය කරන්නේ. ඔහු වෙළෙඳාමේ ගිය අවස්ථාවකයි පටාචාරා දර පලන්නා සමඟ පෙමින් බැඳෙන්නේ. ආපසු එන භානුක ඒ සියළු දේ දැන ගන්නවා. එතනදී ඔහු නැගණියටත් මව්පියන්ටත් සැර පරුෂ ලෙස බැණ වදිනවා. දර පලන්නාට නොයෙකුත් වද හිංසා කරනවා. අන්තිමට පටාචාරා නිවසින් පලා යන්නෙත් රිදවීම් දරාගත නොහැකිව. ගොඩක් අය මට බැණ බැණ තමයි සිනමා පටය බලලා තිබෙන්නේ. සැබෑ ජීවිතයේ මම නපුරු චරිතයක් නෙවෙයි. ඒත් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරවලින් මම එයට සාධාරණය කළා කියලා හිතෙනවා. මෙය වර්තමානයටත් ආදර්ශමත් කතාවක්.
පටාචාරා රූගත කළේ කොහේද?
ඉංගිරිය ප‍්‍රදේශයේ තමයි මාළිගාව ඇතුළත දර්ශන රූගත කළේ. අනුරාධපුර තඹුත්තේගම යාය 4 ප‍්‍රදේශයේ වනාන්තරයේ දර්ශන රූගත කිරීම් කළා.
මේ දවස්වල මොකද කරන්නේ
මේ දවස්වල දේවිය සුගලා කියන රජ කතාවකට සම්බන්ධවෙලා ඉන්නවා. සුගලා දේවිය චරිතය නිරූපණය කරන්නේ දිල්හානි ඒකනායක මහත්මිය. ඇයගේ සමීපතම ඇමැතිවරයා වූ උද්ධික ඇමැතිගේ චරිතය නිරූපණය කරන්නේ මම. කතාවේ හැරවුම් ලක්ෂය වෙන්නේ මගේ චරිතය. ඊට අමතරව සල්සපුනා ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායකවෙලා තිබෙනවා. මොනර කිරිල්ලී නාට්‍යයේ දීර්ඝ චරිතයක් කළා. මුහුණු පොත, අම්මාවරුනේ, මුතුපලස වගේ නාට්‍ය කීපයකටත් දායක වුණා. මන්දාරම් අහස, ඔය දොර අරින්න, මෝදරවැල්ල යන ටෙලි නාට්‍යවල එකකට එකක් වෙනස් චරිත රඟපෑවේ. ඒවා ඉදිරියේදී විකාශනය වේවි.
ජීවිතේ පිළිබඳව මොකද හිතන්නේ
මම වෘත්තීය රංගන ශිල්පියෙක් නෙවෙයි. එළිෆන්ට්හවුස් ආයතනයේ සේවය කරනවා. එහි පාලන අධිකාරිය මට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඔවුන්ට ස්තුතියි.
ඒ වගේම මගේ ගුරුවරයා සුගත් සමරකෝන් මහත්තයා. මම ඔහු යටතේයි රංගනය හැදෑරුවේ. වේදිකාවේ සිට සිනමාව දක්වා ආ ගමන පිටුපස ඔහුගේ ආශිර්වාදය තිබුණා. ඔහුගේ සිනමාපටවලට සම්බන්ධ කරගෙන පියවරෙන් පියවරයි ඉදිරියට ගත්තේ. මෙවර ඔහුගේ අපේ කාලේ පටාචාරා සිනමාපටයේ අභියෝගාත්මක චරිතයක් භාර දුන්නා. මම ඔහුටත් ස්තුතිවන්ත වෙනවා.
ඈත ගම්මානයක ඉඳලා ගොඩක් දුෂ්කර ගමනක් හිමින් හිමින් ඇවිදගෙන ආවේ. ඒ පිළිබඳව හා වර්තමානය දෙස හිතනකොට ලොකු සතුටක් දැනෙන්නේ.
කුමාරි හේරත්


