පච බාහුවා මැරී උපදී


අධිකරණයට දිගින් දිගටම අසත්‍ය තොරතුරු ලබාදුන් සැකකරුවකු නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක මහත්මිය නියෝග කළාය.

ජයමහ මුදලිගේ ප්‍රියන්ත ජයමහ නමැති සැකකරු ජනපති ලේකම්ගේ සහ අධ්‍යාපන ඇමැතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා මහනුවර ධර්මරාජ විදුහල ඔහුගේ දරුවා ඇතුළත් කිරීමට ව්‍යාජ ලිපි ලේඛන සැපයීමේ සිද්ධියකට මහනුවර මහාධිකරණයට පමුණුවනු ලැබ සිටියේය.

ඔහුට එරෙහිව ඇති නඩු 3ක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය නීතිපති මගින් නඩු විභාගය කොළඹ මහාධිකරණයට පැවරූ ඔහු රෝගී වකුගඩු රෝගියකු ලෙස කොළඹ ප්‍රතිකාර ගැනීම ඊට හේතුව බවත් දක්වා ඇත.

මේ රෝද පුටුවෙන් උසාවියට පැමිණි සැකකරුට පද්මිණී එන්. රණවක විනිසුරුවරිය විසින් ඇප ලබාදෙනු ලැබීය. ඇප ලබාදුන් එරන්ද අමරතුංග සැකකරු වෙනුවෙන් කොළඹ ජාතික රෝහලින් ලබාදුන් බව කියන ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර ඇති බවද උසාවියේ දී තහවුරු විය. ඒවායේ අත්සන් තබා ඇති නමින් කිසිදු වෛද්‍යවරයකු නැති බව ජාතික රෝහල හා වෛද්‍යවරුන්ගේ සංගමය තහවුරු කර ඇත.

මේ අතර එරන්ද සැකකරු මියගිය බවට මරණ සහතිකයක් ද උසාවියට ඉදිරිපත් නඩුව ඉවත් කරගන්නා ලෙස ඉල්ලා ඇති බවත් එයද ව්‍යාජ මරණ සහතිකයක් බවත් තහවුරු විණි.

පසුව ඇපකරු හා සැකකරු යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ අතර සැකකරුට නඩුව පවතින තුරු ඇප ලබානොදෙන ලෙස නියෝග කැරිණි. ඇපකරු ලෙස ඉදිරිපත්වූ එරන්ද අමරතුංග දෙසැම්බර් 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.