පකිස්තානු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ නිවසින් දේපළ සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට


පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ නිල නිවසින් පකිස්ථාන් රුපියල් 70,000ක්  වටිනා දේපළ සොරකම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු පකිස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පකිස්ථාන එක්ස්ප‍්‍රස් ටි‍්‍රබියුන් පුවත් වෙබ් අඩවිය සහ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්සේවය අද  (07) වාර්තා කළේය 


ඉස්ලාමාබාද් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාගේ නිල නිවසට ඉකුත්දා කඩා වැදුණු සොරුන් කණ්ඩායමක් විසින් මහ කොමසාරිස්වරයාගේ නිවසේ තිබූ පිත්තල පහන් සහ නාන කාමර උපාංග කිහිපයක් සොරකම් කරනු ලැබ ඇත.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්ලාමාබාද් හී සොරුන් කණ්ඩායමක සාමාජිකයින් වූ පිරිසක්ද වන බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

දැඩි ආරක්ෂක රැකවල් මත පිහිටා තිබෙන මෙම තානාපති නිවසේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාල නිලධාරියෙකු විසින් පකිස්ථාන පොලීසියට පැමිණිලි කිරීමේ පසුව පැවත්වූ විශේෂ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසියට හැකි වී ඇතැයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

එම සොරුන් කඩා වැදී භාණ්ඩ සොරකම සිදු කරන දින හතරකට පසුව සැකකාර සොරුන් අල්ලා ගෙන ඇත.

කෙසේ වුවද සොරකම් කළ භාණ්ඩ වල වටිනාකම් ඉහළ මට්ටමක නොපැවතියද ,ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාගේ නිල නිවසට සොරු ඇතුළු වීමේ ආරක්ෂක හිඩැස සම්බන්ධයෙන් පකිස්ථාන බලධාරීන් විමර්ශන පවත්වන බවද එම පුවත්පත් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

(125)