නොහැදෙන ගොඩනැගිල්ලට බෙරගසා දුම්මල ගසයි


කරාපිටියේ ඉදිකිරීමට සැළසුම්කැර ඇති මාතෘ රෝහලේ කටයුතු පමාවීමට ඇති වස්දොස් මගහැරෙන ලෙස ඉල්ලමින් කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන පදනම අද එම ස්ථානයට යකදුරකු ගෙන්වා දුම්මල ගසා මන්තර කියවා මිනිත්තු දහයක් පමණ ශාන්තිකර්මයක් වැනි දෙයක් කළේය. සවස හතරට පමණ පැවැත්වෙන බව කියූ මෙම ශාන්තිකර්මය ආවරණය කිරීමට මාධ්‍යවේදින්ට ද ආරක්ෂාවට පොලීසියට ද ඇරයුම් කැර තිබිණි. එය හතරට පැවැත්වෙන බව කීව ද හය වනතුරු පැවැත්වූයේ නැත. සංගමයේ සාමාජිකයන් 70 න් පහළොස් දෙනෙක් පමණ පැමිණ සිටියහ. පූජාව අද පැවැත්වීමට අපහසු බවත් වෙනත් දිනක මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වන බවත් සංවිධානයේ ලේකම් වරයා දැනුම් දීමෙන් පසු ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන් හා මාධ්‍යවේදීන් ඉවත්ව ගියේය.

ඉන් පැය භාගයකට පමණ පසු රූපවාහිනී නාලිකාවක නියෝජිතයකු ගෙන්වාගෙන බෙරයක් වයා දුම්මල ගසමින් පූජාව පැවැත්විණි. පූජාව පැවැත්වෙන බව දැනගෙන එහි ගිය ලංකාදීප මාධ්‍යවේදියාට සංගමයේ සභාපති ඩී.ජී.බන්දුල ඩයස් මහතා කියා සිටියේ මෙම ස්ථානයේ වූ සිද්ධිය නිවැරදිව වාර්තා කළ යුතු බවයි. පහතරට නර්තන ශිල්පී හා ගුප්ත විද්‍යා කටයුතු කරන ලක්ෂ්මන් හේවගේ මහතා කියා සිටියේ විනාඩි පහකින් දහයකින් අවසන් කරන පූජා නොමැති බවයි. වැඩ අවසන්නොවන ඉදිකිරීම් භූමියක කටයුතු කඩිනම් කැර ගැනීමට පූජාවක් පවත්වන්නේනම් එය බහිරව පූජාවක් විය යුතු බවත් බහිරව පූජාවේදී පෙරේත තට්ටුවක් දී, තීන්දු කපා ආරක්ෂාවක් කරන බව හෙතෙම වැඩිදුරටත් කීවේය. බහිරව පූජා සඳහා බෙර වාදනය නොකරන බවත් හේවගේ මහතා පවසයි

පරිසර හා ප්‍රජා සංවර්ධන පදනමේ සංවිධායක යූ.එල්.විමලජීව මහතා කියා සිටියේ මේ පූජාව සිදුකළේ ගුරුකම් දන්නා පෙදරේරුවකු බවයි.

ජර්මනියේ හිටපු චාන්ස්ලර් වරයකු වන හේල්මුත් කෝල් 2004 සුනාමියෙන් ගාල්ල මහමෝදර රෝහලට වූ විනාශය දැක කරාපිටියේ මාතෘ රෝහලක් ඉදිකිරීමට රුපියල් කෝටි 3000 ක් පරිත්‍යාග කළේය. එම මුදලින්  මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ ද වසර හතක කාලයක් එය පාදමට පමණක් සීමා වි තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ජර්මනියේ පුනර්නිර්මාණි බැංකුව මගින් ණය මුදලක් ලැබී ඇති බවත් පසුගිය අප්‍රේල් මාසයේ යළි ඉදිකිරීම් ආරම්භ කරන බවත් රජය ප්‍රකාශ කැර තිබිණි. එහෙත් මේ දක්වාම වැඩ ඇරඹී නැත.