උතුරේ යුද්ධය දැඩිව පැවැති ප්‍රදේශයන් වලට ඇතුළුවීමට අපේක්ෂා කරන විදෙස් සංචාරකයින් හා සංවිධානයන් ඒ සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතු බව රජය නිවේදනය කරයි.
ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසූයේ උතුරේ ක්‍රියාත්මක ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයන් හා සංචාරය සඳහා පැමිණ සිටින ඇතැම් විදෙස් සංචාරකයින් ජනතාව අතර දුර්මතයන් පැතිරවීමට උත්සාහ කරමින් සිටින බවට තොරතුරු ලැබීම නිසා මෙම පියවර ගත් බවයි.
ඒ අනුව තමන් උතුරේ සංචාරයේ යෙදීමට අපෙක්ෂා කරන ප්‍රදේශයත්,තම සංචාරයේ අරමුණත් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය දැනුම්වත් කිරීමටත් එම කරුණු සළකා බලා අමාත්‍යංශය දෙනු ලබන තීරණය පිළිගැනීමටත් විදෙස් සංචාරකයින්ට සිදුවනු ඇත.
මෙම සතිය මුල යෙදී තිබුණු ජනපතිවරයාගේ යාපනයේ තෙදින නිල සංචාරය අතරතුරදීද විදෙස් සංචාරකයින්ට උතුරට ඇතුල්වීමට ඉඩ නොදී ඕමන්තෙයි හමුදා මුරපොලෙන් ආපසු හරවා යැවීමට ආරක්ෂක අංශ කටයුතු කළහ.
තාවකාලික ආරක්ෂක පියවරක් ලෙස එසේ කටයුතු කළ බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ වුවත් ඉදිරියේදී විදේශිකයින්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලබා ගෙන මිස උතුරට ඇතුල්වීමට ඉඩ නොලැබෙන බව අවධාරණය කළේය.
එල්.ටී.ටී.ය නැවත නැගිටුවීමට තවමත් ඇතැම් කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බැවින් ඉදිරියටත් ආරක්ෂක විධිවිධානයන් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ආරක්ෂක අංශ වල අදහසයි.

