නොදරුවන්ටත් ඇමෙරිකාව අවි පුහුණුව දෙයි


තමන් කියනදේ නාහන කෙනෙකු "ත්‍රස්තවාදියායයි" හංවඩු ගසා ඔහුගේ ගෙදරට සන්නාහ සන්නද්ධ හමුදාවක් යවා ඔහුට වෙඩිතබා මරාදැමීමේ අයිතිය තමන්ට ඇති බව මේ ‘ලෝක පොලිස්කාරයා‘ අවධාරණයෙන්ම කියා සිටී. ඒ අවස්ථාවේ එතැන ඉන්නා අහිංසක කාන්තාවකට වෙඩි වැදුනොත් එය ඇගේ නොලැබීමය, අවාසනාවය. 

වෙනත් රටක යුදපිටියෙදී කෙනෙකු මියයතොත් එතැන සිදුවන්නේ "අවිනීත නොහික්මුණු සොල්දාදුවන් අසරණ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් කඩකිරීමකි."

ඇමෙරිකාව ලෝකයට කියනේ එහෙමය. නමුත් ඒ සෙල්ලම් ගෙදරදී වලංගු නැත.

මේබව සනාථ කරන ප්‍රවෘත්තියක් පසුගියදා ප්‍රචාරය විය.

මෙය අභිරහසක් හෝ කවුරුත් නොදන්නා දෙයක් නොවේ. මෙම ප්‍රවෘත්ති වාර්තාවට අනුව දැනට ඇමෙරිකාව පුරාම ලක්ෂ තිහකට වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් සහිත අමුතු කණ්ඩායමක් බිහිවී ඇත.

යුධහමුදා භටයින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී වනගත පෙදෙස්හි ගිනි අවි පුහුණුව ලබාගන්නා මොවුන් බැලූ බැල්මට පෙනෙන්නේ හමුදා භටයන් ලෙසය.

මෙම පිරිස හැඳින්වෙන්නේ  නිතර සුදානමින් යන තේරුම සහිත "ප්රෙපර්ස්" නමිනි.

විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධරයන්ගේ පාලනය යටතේ පවත්වාගෙන යනු ලබන මෙම කණ්ඩායමේ සියලුදෙනාටම හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ගිනි අවි පුහුණුව ලබාදෙයි.

  මේ අවි පුහුණුව ලබන්නන් අතර වයස අවුරුදු නමයේ නොදරුවෝ ද සිටිති.

වෙනත් රටවල දරුවන්ට ආයුධ පුහුණුව ලබාදීම බලවත් වරදක් බවට කෑ මොරදෙන ඇමෙරිකාව තම රටේ සිදුවන එවැනි කටයුතු ගැන සොයා බැලීමක් සිදුකරන්නේ නැත. ඒගැන ලෝකයටම ඇහෙන්නට කෑ මොර ගහන්නේත් නැත.

කියනකොට එහෙමය. කරනකොට මෙහෙමය.

පසුගිය කාලයේ ඇමෙරිකාවේ නගර කිහිපයකම පාසල් සහ වෙළඳසල්හි    ඝාතන කිහිපයක්ම සිදුවිය. ඉන්පසුව ඇමෙරිකාවේ ආයුධ ළඟ තබාගනීමේ අයිතිය අහෝසි කරන ලෙසට උද්ඝෝෂණ සහ ඉල්ලීම් ඉදිරිපත්විය. නමුත් බොහෝදෙනා ඊට තම විරෝධය පාමින් කියා සිටියේ එම ඉල්ලීම්  අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හේතුවන බවයි.

ඇමෙරිකාවේ හැමතැනම ඇති කඩසාප්පුවලින් ඉතාමත් ලෙහෙසියෙන් අවි ආයුධ සහ වෙඩි උණ්ඩ මිලදී ගත හැකියි. මෙය ඇමෙරිකානුවන්ගේ මානව අයිතිවාසිකමකි. එසේ ගන්නා ගිනි අවි භාවිතා කර  ඝාතන සිදුකළවිට කියන්නේ ඒවා උම්මත්තයන්ගේ වැඩ බවයි.

"ප්රෙපර්ස්" සන්නද්ධ කණ්ඩායම පිහිටුවාගත්තේ පනස් හත් හැවිරිදි ජිම් ෆොස්ටර්  විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. ඔහු කියන්නේ ඇමෙරිකානුවන් අද ලෝකය පුරාම අපකීර්තියට පත්ව ඉන්නා බවත් තම රටට විදේශ ත්‍රස්ත කල්ලිවලින් ඇති තර්ජනය වෙන කිසිදාටත් වඩා භයානක අන්දමට වර්ධනය වී ඇති බවත්ය. 

" මම කියන්නේ අපට අතවරයක් හෝ විපත්තියක්  සිදුවූ අවස්තාවක රජයෙන් පිහිටක් ලැබේය කියා හිතන්න අපහසු බවයි" කියන ෆොස්ටර් තම තමන්ගේ අවශ්‍යතාවයන් බලා කියා ගැනීම තම තමන්ගේ වගකීම බවට දැන් පත්ව ඇති බවද පවසයි.

මේ වාර්තාව දුටු කෙනෙක් කීවේ මේ මිනිස්සු මේවගේ නොදරුවන් සන්නාහ සනද්ධකොට නවීන යුද අවි පුහුණුවක් ලබාදෙන්නේ අනාගතයේදී ඔවුන්ලවා "පොල්ගාවා ගන්නනම් " නොවන බවයි.