නොටින්හැම් බලා ගිය වෙසඟේ ආසිරි


ලන්ඩන් නුවර සිට සැතපුම් 130ක් පමණ උතුරු දෙසින් පිහිටි නොටින්හැම් නගරයේ මෑතදී ආරම්භ කරන ලද ශාන්ති බෞද්ධ විහාරය එහි මුල්ම ථේරවාදීබෞද්ධ මධ්‍යස්ථානයයි. තෙල්දෙණියේ අමිත හිමියන්ගේ අප්‍රහිත උත්සාහයෙන් සහ නොටින්හැම් නගරය අවට ජීවත්වන බෞද්ධයන්ගේ ඉල්ලීමෙන් ආරම්භ කළ ශාන්ති විහාරය ඉතා ටික කාලයකින් සැලකිය යුතු ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්වී ඇත.

නොටින්හැම් නගරයේ එතරම් ශ්‍රී ලාංකික බෞද්ධයින් විශාල පිරිසක් ජීවත් නොවුනත් ඒ අවට පිහිටි ශෙෆිල්ඩ්, මන්ස්ෆිල්ඩ්, ග්‍රන්තම්, ලින්කන් සහ ඩාර්බි වැනි නගරවල ජීවත්වන ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික බෞද්ධයන් හටද මෙම විහාරස්ථානය වන්දනා මාන සිදුකරගැනීම සඳහා උපයෝගී කරගත හැකි වටිනා මධ්‍යස්ථානයක් බවට පත්වී ඇත.

එදිනදරුවෝද ,දෙමව්පියෝද බොහෝ දෙනෙක් අටසිල් සමාදන් වුහ.

ඔවුහු සියලුදෙනාටම දවස පුරාම බණ භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සඳහා සහභාගීවීමට අවස්ථාව සකසා තිබුණි.

මහා සංඝ රත්නයට සහ සිල් සමාදන් වුවන්ට උදය හීල් දානය සහ අනෙකුත් සැදැහැවතුන්ට උදැසන ආහාරයද සපයන ලද්දේ අසංක දෙවකුමාරසිරි විසිනි.

ආචාර්ය ටෝනි ෆ්ලෙචර් බෞද්ධ ඉතිහාසය විස්තරකළ අගනා දේශනයක් පැවැත්විය. නැගෙනහිර ලන්ඩන් බෞද්ධ විහාරවාසී මඩුගල්ලේ මහානාම හිමියෝ වෙසක් තෙමඟුලෙහි අර්ථාන්විත භාවය විස්තරකර දුන් ධර්මදේශනයක්  පැවැත්වුහ.

ශාන්ති බෞද්ධ විහාරයේ ආරම්භය සහ මෙතුවක් කල් ඉටුකර ඇති වැඩ කටයුතු පිළිබඳවත් ඉදිරියේදී ඉටුකිරීම සඳහා සැලසුම් කර ඇති වැඩ පිළිබඳවත් කරුණු විස්තර කරමින් කතාවක් කළ ප්‍රියන්ත ජයසුන්දර මහතා විහාරයේ පැවැත්ම සඳහා ඇත හිත දෙන සහ වන්දනා මාන සඳහා නිරතුරුව සහභාගීවන සියලුම දෙනාට ස්තුතිය පුදකර සිටියේය.පිංකම අවසාන කරන ලද්දේ භක්තිගීත සංදර්ශනයකින් සහ වෙසක් දන්සලකිනි.

පිංකම පැවැත්වූ ශාලාවත් ශාන්ති විහාරස්ථානයත් විවිධ වර්ගයේ වර්ණවත් වෙසක් පහන් කුඩු  සහ බෞද්ධ කොඩි වලින් ඉතාමත් අලංකාර අන්දමට සරසා තිබුණි.