නූපන් දරුවන් මරණ පෙති රෙදි වෙළෙන්දා ලඟ


ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින්  තොරව  ගබිසා පෙති 250 ක්  ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ  ශ්‍රී ලාංකික රෙදි වෙළෙන්දෙකුට රුපියල් දස දහසක දඩයක් නියම කළ රේගුව එම ගබ්සා පෙති සියල්ල රාජ සන්තක කිරීමට නියෝග කළේය.

මොහු   නිතර නිතර ඉන්දියාවට යන එන දෙමටගොඩ   ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවත් අත්අඩංගුවට ගනු ලැබූ ගබ්සා පෙති වල වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරක් බවත්   රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබිලිවි 252 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ ඇත. පසුව ඔහු රේගුවට භාන්ඩ කිසිවක් ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමින ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ ගනිද්දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු  මෙම පෙති අඩංගු පැකට් 50  ගමන් මල්ලේ ඇදුම් අතර සගවා ගෙනවිත් තිබූ බව රේගුව කියයි.

 රේගු නිලධාරීන් විසින් සැකකරුගෙන්  දීර්ඝ ලෙස  ප‍්‍රශ්ණ කිරීමේදී  ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළේදී කිසියම් පුද්ගලයෙකු අදාල බෑගය  මෙරටට ගෙන එන ලෙස ලබා දුන් බවත් එහි ගබ්සා පෙති   ඇති බවක් තමා  නොදන්නා බවත්  පවසා ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ සහ දීපාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ  මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන හර්ෂ ජයතිලක, රංජිත් අල්විස්, චන්දන විජේසේකර සහ නියෝජ්‍ය රේගු අදිකාරීවරුන් වන එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන  ශ‍්‍රී ලාල් විජේවර්ධන, එම්.එම්.එස්.සී කුමාර යන නිලධාරිහූ   සිදුකළහ.