
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයකට රැඳවුම් නියෝග ලබා ගත් කලුමිනී රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැති සැකකරු නුගේගොඩ අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය පරික්ෂා කර නිරීක්ෂණ සටහන් කර ගත්තාය.
මහේස්ත්‍රාත්වරිය එලෙස සිදු කර ඇත්තේ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් කරන ලද දැනුම් දීමක් අනුවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකාර බුරු මුනා නැමැත්තා ජූනි මස 20 වෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේන් අවසර ලබාගත් බව අධිකරණයට දැනුම් දීමකින් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නිරීක්ෂණයට ලක් කල බව පොලිස් නිලධාරියෙකු කීය.
එම රඳවා ගැනීමේ නියෝගය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයට ද කරුණු වාර්තා කළ බව එම නිලධාරියා කීය.
සැකකාර බුරු මුනා නමැත්තා මේ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිසියක විශේෂ සිරමැදිරියක රඳවා තබා ඇති අතර ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනකු ආරක්ෂාව සඳහා යොදවා ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

