නාඳුනන පිරිසක් තමා ලුහු බැද එන බව කියමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අද (15) කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළේය.
විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඒ ගැන විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රාජ්‍ය නොවන සංවිධානවලට පුවත්පත් සාකච්ඡා හා මාධ්‍ය වැඩමුළු තහනම් කරමින් කර තිබූ නියෝගයට එරෙහිව පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීම නිසා මෙලෙස නාඳුනන පුද්ගලයන් තමා පසුපස පන්නන්නේදැයි සැක සහිත බව ජයසූරිය පවසයි.
‘අධිකරණයේ වැඩ කටයුතු අවසන් කර 11.30ට විතර එද්දි මගේ පස්සෙන් යතුරු පැදියක් ආවා. ඒ යතුරු පැදියේ දෙදෙනෙක් හිටියා. මං කොටුවේ පැය භාගයක් විතර නතර කර සිට නැවත යද්දි නැවතත් ඔවුන් මගේ පස්සෙන් ආවා. මං මල්පාරට දැම්මා. ඒ පාරෙත් ඔවුන් ආවා. ඉන් පස්සේ ඔවුන් ත්‍රීවීලර් එකක් ළඟ නවත්වලා ඒ අයත් එක්ක කතා කරමින් හිටියා. ඒකෙත් දෙන්නෙක් වගේ ඉන්නවා දැක්කා. ඒ වාහනවල අංක මං ලියා ගත්තා. ඉන් පස්සේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
රජ්‍ය නොවන සංවිධානවලට මාධ්‍ය සාකච්ඡා වැඩමුළු පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණා. පහුගිය සිකුරාදා පැවැත්වුණු ශ්‍රී ලංකා නීතීඥ සංගම් රැස්වීමක දි ඊට එරෙහිව පුවත් පත් නිවේදනයක් සම්මත කර ගත්තා. ඉන් පසු එය මාධ්‍ය වල පළ කළා. මං හිතන්නේ මෙහෙම වෙන්න ආසන්නම සිද්ධිය තමයි එය.‘


