නීතීඥ සංගමයේ සභාපතිට සාමාජිකයෝ දොස් පවරති


ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජෙෆ් අලගරත්නම් මහතා නීතීඥ සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කොට ඇති බව පවසමින් නීතීඥ කවුන්සිලයේ සාමාජිකයින් සභාපතිවරයාගේ ක‍්‍රියාකලාපය දැඩි දෝෂාරෝපණයට ලක් කොට ඇතැයි වාර්තා වේ.
පෞද්ගලිකව නීතීඥ වෘත්තියේ යෙදුණු රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම සඳහා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේ හෝ එහි කවුන්සිලයේ කිසිදු අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ අදහසක් ලෙස හැඟවෙන අන්දමට, සංගමයේ ලිපි ශිර්ෂයක ලිපියක් යැවීම සම්බන්ධයෙන් සභාපතිවරයාගේ ක‍්‍රියාකලාපය නීතීඥ සංගම් කවුන්සිලයේ සාමාජිකයින් දැඩි දෝෂාරෝපණයට ලක් කොට ඇත.
ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජෙෆ් අලගරත්නම් මහතා සංගමයේ ව්‍යවස්ථාව එළිපිටම උල්ලංඝණය කොට ඇති බවත් ඔහුගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් සංගමයට අනවශ්‍ය ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුව ඇති බවත් සඳහන් කරමින් අලගරත්නම් මහතාගේ ක‍්‍රියාකලාපයට නීතීඥ කවුන්සිලයේ සාමාජිකයින් දැඩි විරෝධය පළ කොට ඇතැයිද  වාර්තා වේ.
මේ පිළිබඳව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතාගෙන් කළ විමසීමකදී රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමට පාදක වු ලිපිය හා ඒ සිදුවීමට අදාළ සියලු තොරතුරු අධිකරණ සේවා සංගමයට (විනිසුරුවරුන්ගේ සංගමය) දැනුම් දීමට නීතීඥ කවුන්සිලයේ සාමාජිකයින් තීරණය කළ බව පැවසීය.