නීතීඥ සංගමයේ විධායක සභාව හෙට රැස්වෙයි


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා එහි විධායක සභාව හෙට (25) පෙරවරුවේ රැස්වීමට නියමිතය. 
පෞද්ගලිකව නීතීඥ වෘත්තියේ යෙදුණු රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමත් සමඟ මතුවු ගැටළුකාරී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගම් නිලවරණයේදී තේරීම් බාර නිලධාරීන් ලෙස කටයුතු වලින් වැළකී සිටීමට අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) තීරණය කිරීමත් සමඟ හටගත් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගම් නිලවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත විය.

මේ හේතුව නිසා ශ්‍රී ලංකා නීතීඥ සංගම් ව්‍යවස්ථාවේ සඳහන් පරිදි නිලවරණය පවත්වා මාර්තු මස 25 වැනිදා වන විට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අභිනව සභාපතිවරයා පිළිගැනීමේ උත්සවය පවත්වා ගැනීමේ අර්බුදයක් හටගෙන තිබිණ.  මේ තත්වයට පිළියමක් වශයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ  ව්‍යවස්ථාව සංශෝධනය කොට එහි නිලවරණය පැවැත්වීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා එහි විධායක සභාව රැස්වීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.