නීතිය රකින්න විධිමත් වැඩපිළිවෙළක්


(ෂේන් සෙනෙවිරත්න)

රටේ පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවගේද ජනතාවගේ ද සහායගනිමින් ඉදිරියේදී විධිමත්ව කටයුතු කරන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

පාතාල ක්‍රියාකාරකම් සහ ඒ හා බැඳී පවතින මත්ද්‍රව්‍ය ජාවාරම අද ඊයේ ඇතිවූවක් නොවන බවත් ඒ සඳහා දේශපාලන ආශිර්වාදය මෙන්ම පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ ආශිර්වාදයද ලබා ගනිමින් ත්‍රිවිධ හමුදාවේ ඇතැම් අයගේද සහය ලබා ගනිමින් කරගෙන පැමිණ ඇති බවද පොස්පතිවරයා පවසයි.

මෙරට 37 වැනි පොලිස්පතිවරයා වශයෙන් අභිනව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබාර ගැනීමෙන් අනතුරුව මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස්පතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

මෙරට පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමාජයේ විවිධ තලවල පුද්ගලයන් ඔවුන්ගේ කටයුතු සඳහා භාවිතා කරමින් සිටින බව පැවසූ පොලිස්පති වරයා නිවට නියාලු පිරිසක් විදේශගත වී එම කටයුතුවල නියැලී සිටින බවත් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසියත් සමග සම්බන්ධ වී ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් යොදන බවද පොලිස්පතිවරයා පැවසීය.