ත්‍රිකුණාමලය කුමාරපුරම් කිලිවෙඩ්ඩි ගම්මානයේ සාමාන්‍ය වැසියන් 24 දෙනකු මරා දැමීයැයි චොදනා ලැබ සිටි යුද හමුදා කෝප්‍රල්වරුන් හය දෙනා ජූරි සභාවක් මගින් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ඇපෑල ලබන 22 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා අභියාචනාධිකරණයට ඇපෑල ඉදිරිපත් කළේය.
ඔහු දැනුම් දුන්නේ සිවිල් වැසියන් 24 දෙනකු මරා දමා තවත් 25 දෙනකුට තුවාල සිදු කළැයි යුද හමුදාවේ පිරිසට එරෙහි පැමිණිල්ල සාධාරණ සැකයෙක් ඔබ්බට ඔප්පු කර ඇති නිසා ඔවුන් නිදහස් කිරීමට ජූරි සභාව ගත් තීරණය නීතියට පටහැනි බවයි.
ඔවුනට එරෙහිව චෝදනා 101 බැගින් ඉදිරිපත් කර තිබිණි. සැකකරුවන් ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ සිටි අවදියේ ඔවුන්ගේ රාජකාරි ගිනි අවියෙන් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළ බව සාක්කි විභාගයේ දී කියැවිණි. උතුරුමැද පළාත් බද මහාධිකරණ ඉතිහාසයෙන් විත්තිකරුවකුට එල්ල කළ වැඩිම අධිචෝදනා ගණන වාර්තා වූයේද මේ සිද්ධියේදීය.
නඩු භාණ්ඩ ලෙස ගිනි අවි, උණ්ඩ, යුද හමුදා පිරිසට අවි නිනුක් කර ඇති ලේඛණය, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා 24ක්, අධිකරණ වෛද්‍ය වාර්තා 25ක් සහ රජයේ රස පරීක්ෂකගේ වාර්තාව ඉදිරිපත් කර තිබිණි.
නඩුවේ සාක්කිකරුවන් ලෙස 107 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ.
නඩුව විභාග වූයේ අනුරාධපුර මහාධිකරණයේ ය.