නීතිඥයාට පහර දුන්නන් අල්ලන්නැයි නියෝග


(අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද)

උසාවි වැඩ නිමවා යතුරු පැදියකින් ගමන් ගත් නීතිඥවරයකුට  පදවිය අලිවංගුව ප්‍රදේශයේ දී යතුරු පැදි හිස්වැසුම්වලින් සහ අතින් පයින් දරුණු ලෙස පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස, කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා  පදවිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාර සිරි මහතාට නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කැබිතිගොල්ලෑව පදවිය කලාප භාර සහකාර පොලිස් අධිකාරී රුවන් නාරවිට මහතා මගින් අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා  නියෝග කරනු ලැබීය.

මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ පදවිය අලිවංගුව ප්‍රදේශයේදී නීතිඥවරයකුට දරුණු ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.