නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු 5කට අධිචෝදනා බාරදෙයි




(ඩී.ජී.සුගතපාල)


පුද්ගලයෙකු පැහැරගෙන ගොස් සිරකර තැබිම සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුලු විත්තිකරුවන් පස් දෙනෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදි  අද (10)අධි චෝදනා බාරදෙන ලදී.


අධි චෝදනා බාර දිමෙන් පසු එක් අයෙකු රුපියල් විසි දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට මහාධිකරණ විනිසුරු වරයා නියෝග කළේය.


මෙසේ අධි චෝදනාබාර දිමෙන් පසු ඇප මුදා හරිනු ලැබුවේ නිශාන්ත මුතුහෙට්ටිගම, උඩුගම විතානගේ ලලිත් ධම්මික, සෙනවිරත්න ඈපාගේ දිමුතු පුදිප්, නිරාජ් අසංක ජයවර්ධන, සහ විදානකාරියකරණගේ හසිත අකලංක යන විත්තිකරුවන් පස් දෙනාය.


සිව්වන නිරාජ් අසංක යන විත්තකරු වෙනත් නඩුවක් සදහා මේ වනවිට බන්ධනාගාර ගතව සිටින නිසා ඊළඟ නඩු දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.


උඩුගම පොලිස් වසමේ ගල්ලන්දලදි 2009 සැප්තැම්බර් 7 වනදින පැමිණිල්ල නොදත් අන් අය සමග එක්ව  අතුකෝරල ආරච්චිගේ නජිරාන් සෙනවිරත්න යන අය පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගෙන මරණ බවට තර්ජනය කර සාපරාධි බලහත්කාරය පෑම  නිති විරෝධි රැස්විමක සාමාජිකයින් විම ඇතුලු අධි චෝදනා නමයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.


දකුණු පළාත් සභාවට නියෝජිතයින් තෝරා පත්කර ගැනිම සඳහා 2009 පැවති පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙකුවු සජින් වාස් ගුණවර්ධනගේ ගල්ලන්ද කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරියා ලෙස පැමිණිලිකරු කටයුතු කරමින් සිටියදි සිද්ධිය වු දින උදෑසන විත්තිකරුවන් පැමිණ මුතුහෙට්ටිගම මහතාගේ කාර්යාලයක් කැඩු බවට චෝදනා කරමින් පැමිණිලිකරු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන සාපරාධි බලහත්කාරය පා ඇති බව පැමිණිල්ල කියා සිටියේය


නඩු විභාගය ඔක්තෝබර් 31වනදිනට කල තබන ලදී