නිවාස 1015 කට පළමු අදියරේ ආපදා වන්දි


(ඩයනා උදයංගනී)
          
පසුගිය දිනවල පැවති තද වැසි සහ සුළං හේතුවෙන් හානි සිදුවූ නිවාස වෙනුවෙන් මූලික අදියරේ වන්දි ලෙස නිවාස 1015ක් සඳහා රුපියල් එක්කෝටි එක්ලක්‍ෂ පනස් දහසක මුදලක් මේ වන විටත් ලබාදී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.    

                
මෙම ස්වභාවික ආපදාවන් හේතුවෙන් කලූතර, ගාල්ල, කොළඹ, කෑගල්ල, මහනුවර, පුත්තලම, නුවරඑළිය, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර සහ රත්නපුර දිස්ත්‍රක්කවල නිවාස 33ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 982 කට අර්ධ හානි සිදුවී ඇති බව එම මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවසීය.      

                 
එම නිවාසවල හානි තක්සේරු කර වන්දි ගෙවන තුරු මූලික පියවර ලෙස රුපියල් 10,000 බැගින් එම නිවාස වෙත මෙම මුදල් ලබා දී තිබේ.        

           
ගාල්ල දිස්ත‍්‍රික්කයේ නිවාස 395ක්, කොළඹ 206ක්, කලූතර 168ක්, මහනුවර 153ක්, අනුරාධපුර 31ක්, ගම්පහ 17ක්, කෑගල්ල 13ක්, නුවරඑළිය, 16ක්, පුත්තලම 9ක්, කුරුණෑගල 5ක්, සහ රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙකක් වශයෙන් මෙම නිවාස හානි වාර්තා වී ඇත.