අරලියගහ මන්දිරයේ පැවැත්වෙන සාකච්ඡා සහ රැස්වීම් සඳහා සහභාගී වීමට රාජ්‍ය නිලධාරීන් පැමිණෙද්දී තනි තනි වාහන පාවිච්චි නොකර අවම වශයෙන් නිලධාරීන් හතර දෙනකුවත් එක වාහනයකින් පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
එකම ආයතනයක නිලධාරීන් වෙන වෙනම තනි වාහන වලින් පැමිණෙද්දී රාජ්‍ය සම්පත් නාස්ති වීම වැලැක්වීමට සහ අරලියගහ මැදුර අවට වාහන නවතා තැබීම නිසා ආයතන මුහුණදෙන අපහසුතා වැලැක්වීමේ අරමුණින් අගමැති එලෙස උපදෙස් දී තිබේ.
නිලධරයන් 15 දෙනකු වාහන 16කින් පැමිණ ඇතැයි ද, එක් නිලධරයකු ඔහු පැමිණි වාහනය බිරියගේ ගමනක් සඳහා යවා වෙනත් වාහනයක් ගෙන්වාගෙන ඇතැයි ද, අරපිරිමැස්ම ගැන පාඩම නිලධාරීන්ට කියා දී ඇත්තේ එම සිද්ධියෙන් පසුව යැයි ද දැනගැනීමට ඇත.

