නිල රියෙන් මිනී 150ක් අදී


තම නිල රථය අවමංගල රථයක් කරන බවට දේශපාලන වේදිකාවේදී ජනතාවට පොරොන්දුවක් දී එය ඉටුකළ අපුරු දේශපාලකයෙක් ලංකාදීප එසැණට පසුගියදා හමුවිය. මල්හාමිගේ විජේසිංහ, පදවිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකි. 1997 සිට 2002 වර්ෂය තෙක් පදවි ප්‍රාදේශීය සභාවේ සභාපති වූ විජේසිංහ මහතා 2002 වර්ෂයෙන් පසු දේශපාලනයෙන් ඉවත්ව ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ජනපද නිලධාරියෙකු වශයෙන් කටයුතු කරයි.

ප්‍රශ්නය, ඇයි ඔබ ඒවගේ පොරොන්දුවක් පදවිය ජනතාවට ලබා දුන්නේ.

පිළිතුර, ඔය නිල රථයේ ඉඳගෙන සභාපතිවරයෙක් යන්නේ හරිම තේජාන්විතව. බස් නැවතුමක ඉන්න කිසිම මගියෙක් දාගෙන යන්නේ නැහැ. පදවිය, පරාක්‍රමපුර,අලිවන්ගුව, වැලිඔය යන ප්‍රදේශ වලට ඒ දවස්වල පොදු ප්‍රවාහනය ගොඩක් අඩුයි. නමුත් කිසිම දවසක සභාපතිගේ වාහනේ අහිංසක මනුස්සයෙක් දාගෙන යනවා මම දැක තිබුණේ නැහැ.

ප්‍රශ්නය, ඔබ දිනුවට පස්සේ නිල රථය අවමංගල රථයක් කරන්න ඔබට පුළුවන් වුණාද?

පිළිතුර, ඇයි නැත්තේ මම මෘතදේහ 157ක් අවුරුදු පහ තුළ ප්‍රවාහනය කරලා තියෙනවා. අනුරාධපුර රෝහලේ මියගිය තම පවුලේ සාමාජිකයා පදවියට පරාක්‍රමපුරට අලිවංගුවට ගෙන්න ගන්න වත්කමක් නැති අසරණ මිනිස්සු මට ඇවිත් කිව්වාම කිලෝමීටර් 140ක් දුරගෙවලා මම මිනිය පදවියට ගෙනාවා. එතැනදී සභාපතිත් මම රියදුරත් මම. ඒ දවස්වල  කොටි ගහපු  තැනට බය නැතිව මම යනවා. ඒ ගිහින් තුවාල කරුවන් අරගෙන පදවි රෝහලට එනවා. නිල රථයට අලුත් ටයර් ගන්න ප්‍රාදේශීය සභාවේ සල්ලි තිබ්බේ නැහැ. පදවි රෝහලේ ගිලන් රියෙන් ඉවත් කරන ටයර් දාගෙන තමයි මම වාහනය පාවිච්චි කළේ.

ප්‍රශ්නය,  ඇයි ඔබ දේශපාලනයෙන් ඉවත් වුණේ?

පිළිතුර, පරම්පරාවට අදින ඉහළ අපේක්ෂකත්වයක් ගන්න ලොක්කන් ඉදිරියේ හොටු පෙරන්න ඕනෑ මේ ජරා දේශපාලන රටාව මට එපා වුණා. බලන්න මේ දේශපාලකයන් මොනතරම් මිනිස්සු රවටනවද කියලා? පසුගිය මැතිවරණයේ මම දැකපු අප්‍රසන්නම දෙයක් මම ඔබට කියන්නම්.  එදා පරාක්‍රමපුර පන්සලේ මිනිස්සු පිරිලා හිටියා. ඇතැම් අය හිටියේ උදේ දහයේ ඉඳලා. විපරම් කර බැලුවාම මොනවද බෙදනවාලු. ඔන්න හවස හතරට විතර ආරක්ෂක රථ පිරිවරාගෙන ලයිට් දාගෙන ගිනි විදගෙන උතුරු මැද පළාතේ හිටපු ප්‍රධානියෙක් එනවා. ඇවිත් බෙදාගෙන බෙදාගෙන ගියා. බෙදපු දේ මට ඔබට කියන්නත් ලැජ්ජයි. අල කිලෝ 4ක් . අනේ දෙයියනේ අල කිලෝ හතරක් බෙදන්න ආපු දුරක්.මම සභාපති වී හිටියෙත් ඒ පක්ෂයෙන්ම තමයි. බලන්න මිනිස්සු රවටන තරමක්. ඒ වගේම රැවටෙන තරමක්.

ප්‍රශ්නය, නැවත දේශපාලනයට එන්න අදහසක් නැතිද?

පිළිතුර, අවංක කමට තැන දෙනවානම් අවංක කම පිළිගන්නවා නම් නැවත සලකා බලන්න පුළුවන්. එහෙම නැතිව පාද නමස්කාර දේශපාලනයට මම කැමති නැහැ. මම පදවිය පරාක්‍රමපුරට ගිය හැටියේ මිනිස්සු මාව වට කරගෙන කියන්නේ දේශපාලනයට එන්න කියලා. ඒ මිනිස්සුන්ගේ ආදරය කරුණාව හැමදාම මට ඕනෑ නිසා මේ විදියට මම ඉන්නවා. දේශපාලනය කරන්නම ඕනෑ නැහැ සමාජයට සේවයක් කරන්න. අපි එකතු වෙලා අහිංසක මිනිස්සුන්ට පිරිසිදු වතුර ලබා දෙන ව්‍යාපෘතියක් ආරම්භ කරතියෙනවා. මේ වෙනකොට පවුල් 750කට වතුර ලබා දෙන්න අපිට හැකි වුණා.