නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ බස් රථයක් අත්අඩංගුවට


(ආනන්ද ඉ. ජයකොඩි)

නිරෝධායන ඇඳිරි නීතිය කඩකරමින් අද (22) පස්වරුවේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිටදී නවත්වා මගින් පිරිසක් ගොඩ කර ගත් දුර ගමන් සේවා පෞද්ගලික මගී බස් රථයක් මාර්ග නිරීක්ෂණ රාජකාරියේ යෙදී සිටි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

මේ අවස්ථාවේ එහි සිටි මගීන් පිරිසට පොලිස් අධිකාරිවරයා තරයේ අවවාද කොට ඔවුන් වෙනත් බස් රථ දෙකක නංවා පිටත්කර යැවීය.

බස් රථයේ කොන්දොස්තරවරයාද පොලිසිය විසින් මුදා හැරි අතර, රියදුරා හා බස් රථය නීතිමය පියවර ගැනීම සඳහා නිට්ටඹුව පොලිසියට භාරදෙනු ලැබීය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා නිට්ටඹුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා යන මහත්වරු ප්‍රමුඛ පොලිස් නිලධාරීහු පිරිසක් වැටලීමට සහභාගී වූහ.