නිර්මාණකරණයේ නිතරවන වනසිරිගම සිරිරතනන හිමි


2017-01-26-ent-72

නිර්මාණකරණයේ නිරතවන නවක භික්ෂූන් වහන්සේ නමක් වන වනසිරිගම සිරිරතන හිමියන්ගේ කුලුඳුල් කාව්‍ය නිර්මාණ සංගෘහිත ග්‍රන්ථ ද්විත්වයක් ගෙවුණු වසර නිමකරමින් එළිදැක්විණි. ඒ අනුව "දඟකාර හිතක්" ගේය පද සංග්‍රහය ගේය පද නිර්මාණ 63කින්ද, "නොදුටු සංහිද" නිසදැස් එකතුව නිර්මාන 65කින්ද යුතුව එළිදැක්වුණි. මේ ඒ පිළිබඳ පැවසීමට වනසිරිගම සිරිරතන හිමියෝ "තරුණයා" සමග එක්වූහ.

 

ග්‍රන්ථ දෙක ගැන කතා කළොත්?

2017-01-26-ent-74එක ග්‍රන්ථයක් තමයි "නොදුටු පන්හිද", එය නිසදැස් අන්තර්ගත පොතක්. එහි මම නිසැදැස් 65ක් විතර ඇතුළත් කළා, "තරුණයා" පුවත්පතේ පළවූ මගේ නිසදැස් කිහිපයක් එහි තියෙනවා. මේ පොත සඳහා නිසදැස් ලියන්න ගත්තේ 2016දි. ඒ වසරේදිම පොත මුද්‍රණය කරලා එළිදක්වන්නත් මට හැකියාව ලැබුණා.

දෙවැනි ග්‍රන්ථය තමයි "දඟකාර හිතක්", එය ගේය පද රචනා එකතුවක්. එහි ගීත 63කින් සමන්විත වෙනවා. ඒ වගේම "සදසි සරසඳ" කියලා බෞද්ධ ගීත සංයුක්ත තැටියක් කළා. ඒකේ ගීත 11ක් තියනවා. ඒ ගීත එකළොහම මා විසින් රචනා කළ තවත් ගේය පද ඇතුලත් කරමිනුයි ලියැවෙන්නේ.

 

ඔබ වහන්සේගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සිහිපත් කළොත්?

මම 2009 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්වෙලා 2014 විශ්වවිද්‍යාලයෙන් එළියට එනවා. බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් කළා. ප්‍රථම පංති සාමාර්ථයක් සහිතව සමත් වුණා. 2012-2013 භික්ෂු සංගමයේ ලේඛම් ලෙස කටයුතු කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ ලේඛම් ලෙස 2012-2013 වර්ෂවල කටයුතු කළා. 2015 අග ඉඳලා බණ්ඩාරවෙල මකුල්ඇල්ල විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරනවා.

 

කොහොමද කාව්‍යකරණයට එන්නේ?

මම සාමාන්‍ය පෙළ විභාගය ලියලා ටික කාලයක් හිටියා. මට මතකයි 2005.07.31. වැනිදා මම මගේ ප්‍රථම කවිය ලියනවා. එතැන් සිට ගීත කිහිපයක් ලිව්වා. මහා ශිෂ්‍ය සංගමයේ ඉන්න කොටත් මම නිර්මාණ කළා. ඒ කිසිවක් එකතු කිරීමක්නම් කළේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා, 2015 ඉඳලා තමයි නිර්මාණ එකතුවක් කරලා ඒවා පොත් හැටියට එළිදැක්වන්න අදහස් කළේ.

 

නිර්මාණකරණයේදී යම් කාලරාමුවක හිඳිමින් කටයුතු කරනවාද?

එහෙම නෑ, මට නිශ්චිත තැනක් නිශ්චිත කාල රාමුවක් නැහැ. නිසදැස් පොත ගත්තොත්, ආදරය, ජීවිකාව, වේදනාව, දුක, සතුට වගේම විවේචනය කළ යුතු තැන් පවා ඉදිරිපත් කරමින් නිර්මාණ කරලා තියෙනවා. ගීත කොහොමත් එහෙමයි. බුදු හාමුදුරුවන්ගේ ඉඳන්ම අම්මා, තාත්තා, දයාව, කරුණාව, ආදරය, වෛරය වගේම තමාගේම පණිවුඩයක් දෙන්න පුළුවන් තැන් තියනවා, ඒවත් ඇතුළත් කරමින් නිර්මාණ කළා. එවයේ පුළුල් පරාසයක් ඔස්සේ මම මගේ නිර්මාණ කරනවා.

 

රහුල හාමුදුරුවෝ නිර්මාණ කරද්දී චෝදනා එල්ල වුණු එකේ, ඔබට තැතිගැන්මක් නැද්ද. සෘජුවම මාතෘකාවලට එළැබෙද්දී?

මෙහෙමයි, එහෙම කළොත් සමස්ත භික්ෂු සමාජයටම චෝදනා කරන්න වෙනවා. සමහර භික්ෂූන් වහන්සේලා විශාල ආගමික සේවාවක් කරනවා. ඒ තුළ මම හිතන්නේ නෑ මම බුදු දහම විකෘත්ති කරලා සමාජයට අහිතකර දෙයක් කළා කියලා. බොහෝ අය ෆේස්බුක් වැනි සමාජජලාවල නිරත වෙනවා. පොතක් කියවන්නවත් ඒ අයට වෙලාවක් නැහැ. පොත් කියවන පිරිස අද අඩුයි. කිහිප දෙනෙක් හරි පොත් කියැවීමට හුරුකරන්න තමයි මගෙ උත්සාහය.

 

නිර්මාණ කිරීමේදී ආකෘතියක පිහිටනවාද?

මම ප්‍රධාන වශයෙන් නිසදැස් හා ගීත තමයි භාවිත කරන්නේ. ඉදරියටත් එම ආකෘති භාවිත කරනවා.

 

කවි හා ගීත නිර්මාණය පමණද සිදු කරන්නේ?

නවකතාවක් ලියන්න කාලයක ඉඳන් අදහසක් තියනවා. ඉදිරියෙදි බලාපොරොත්තු වෙනවා එය ලියන්න. නමුත් තවම ලියන්න හිතලා නැහැ. ග්‍රන්ථ කිහිපයක් හා නවකතාවක් එක්ක ඉදිරියට එන්න බලාපොරොත්තුවක් තියනවා.

 

ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?

සෝමසිරි මැදගෙදර මහත්තයත් එකක් ගීත කිහිපයක් කරන්න සූදානමින් ඉන්නවා. ඩෙනින්ස් මංගල කියන සකුරා රේන්ජ් ගායන ශිල්පියා මගේ ගීත දෙකක්, ලාල් ජයසූරිය කියලා ආධුනුක ගායන ශිල්පියෙක් යටතේ ගායනා කරන්න සූදානමින් ඉන්නවා.

 

සඳමාලි වික්‍රමආරචිචි

 

2017-01-26-ent-73