නියෝජ්‍ය පොලිස්පති වගකීම බාරගනී


එච්එන්ඩීඒ සිසුන් පසුගිය 26 වැනිදා පහරකෑමට ලක්වීමේ වගකීම පොලිසිය බාරගන්නා බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කර ඇත.

පොලිසිය මෙම පියවර ගත්තේ පෞද්ගලික ලාබ අපේක්ෂාවෙන් නොව මහජනයා පීඩාවට පත්වීම වැළැක්වීම සහ රජයේ සහ පෞද්ගලික දේපළ ආරක්ෂා කර ගැනීමට බවද හෙතෙම සඳහන් කළ බව කොමිසමේ ආරංචි කියයි.

නියෝජ්‍ය පොලිස්පති මේ බව සඳහන් කර තිබුණේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සිසුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල විභාග කළ අවස්ථාවේය.

මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොමිසම රැස්විය.

පොලිසිය වෙනුවෙන් කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොටුව, පිටකොටුව, බොරැල්ල, දෙමටගොඩ, කුරුඳුවත්ත යන පොලිස් ස්ථානාධිපතිවරුන් ඉදිරිපත්ව සිටියහ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රමුඛ පොලිස් නීතිඥවරු කණ්ඩායමක්ද පැමිණ සිටියහ.

සිසුන් නියෝජනය කරමින් එච්එන්ඩීඒ සිසු එකමුතුවේ කැඳවුම්කරු ධම්මික රුවන්කුමාර පැමිණ සිටියේය.