නියමිත පොත් නෑ : ඒත් ඇගැයීම් පටන් ගනී


විෂය නිර්දේශ පොත් පත් නැතිව ඇගැයීම් පරික්ෂණවලට පෙනී සිටිමට සිදු වී ඇතැයි  ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ මහනුවර ප්‍රාදේශිය මධ්‍යස්ථානයේ සිසුහු කියති.

සෙනසුරාදා (17) සිට ඉංජිනේරු විද්‍යා පිඨයේ හා ස්වාභාවික විද්‍යා පීඨයේ ඇගයීම්  ඇරැඹිණි. ලබන ඉරිදා (25) දක්වා ඇගයීම් කිරීමට නියමිතය.

මෙම ඇගයීම් පරීක්ෂණ අවසාන පරීක්ෂණයට බලපාන හෙයින් පොත්පත් නැති වීම බරපතල ප්‍රශ්නයක් බව සිසුහු පවසති.

බෝග නිෂ්පාදනය,පැල හා පාංශූ විද්‍යාව , කෘෂි කාර්මික රසායනය ,ජල විද්‍යාව ,මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ආදී විද්‍යා පොත් රැසක්ම නැතැයි සිසුහු කියති.

උපකුලපති විජිත නානයක්කාර පැවසුයේ  එවැනි ගැටළුවක් ඇත්නම් එය පරිපාලනයේ ගැටළුවක් බවයි.අවශ්‍ය පොත් මුද්‍රණය කැර බෙදා හැරීමේ යම් මඟහැරීමක් වී ඇත්නම් ඒ ගැන සොයා බලන බවත් යම් අඩු පාඩුවක් වී ඇත්නම් එය ද බාර ගන්නා බවත් සිසුනට අසාධාරණයක් වේ නම් එය බාර ගන්නා බවත් උපකුලපති  කියයි.