මත් කුඩු පැකට් 10ක් යට ඇඳුමේ සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් 35 හැවිරිදි එක්දරු පියකු ගෙන් වැඩිදුර ප්‍රශ්න කරගෙන යෑමේදී ගෙවල් බිඳ දේපොළ සොරා ගැනීමේ අපරාධ 33ක් ගැන තොරතුරු අනාවරණය වූ බවත්, අපරාධ 18ක රුපියල් තුන් ලක්ෂ පනද් දහසක පමණ භාණ්ඩ සොයා ගත් බවත් ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
මත් කුඩු ජාවාරම්කරුවකු වැලිවේරිය පන්සලක් අසළ සිටින බවට ඉරිදා උදේ ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව එහි ස්ථානාධිපති කේ ඒ එස් කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි වැලිවේරියට ගොස් සැකකරු පරීක්ෂා කළහ.
ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ හෙරොයින් මත් කුඩු පැකට් දහයක් (මිලි ග්‍රෑම් 300) සොයා ගත් බවත්, ඒ සමගම ඉණේ ගසාගෙන සිටි අඟල් නවයක් පමණ දිග ඉස්කුරුප්පු නියනක් හමුවූ බවත්, ඒ ගැන ඇති වූ සැකයක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩි දුර ප්‍රශ්න කිරීම් කළ බවත් පොලීසිය කියයි.
ප්‍රශ්න කිරීම්වලදී ගෙවල් බිඳ භාණ්ඩ සොරා ගැනීමේ අපරාධ 33ක් ගැන සැකකරුගෙන් තොරතුරු හෙළි කර ගත් පොලීසිය ඉන් 18ක භාණ්ඩ සොයා ගත්තේය.
සොයා ගත් භාණ්ඩ අතර රන්මාල, මුදු, කරාබු, බෙන්ඩන්ට්, බේස්ලට්, ලැප්ටොප් පරිඝණක, පිත්තල භාණ්ඩ, ඩිවීඩී යන්ත්‍ර, කැමරා, ඔරලෝසු අදිය ද වෙයි. දැනට අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ වල වටිනාකම ලක්ෂ තුන හමාරකි.
ගම්පහ, වැලිවේරිය, නිට්ටඹුව, මිනුවන්ගොඩ, වේයන්ගොඩ සහ වීරගුර පොලිස් බල ප්‍රදේශවල මේ සොරකම් සිදු කර ඇත.
නිට්ටඹුව කත්තොට පාරේ පිදිංචි විවාහක එක්දරු පියකු වන සැකකරු මත් කුඩු පානයට ඇබ්බැහි වී ඇතැයි පොලීසිය සැක කරයි.
සැකකරු පොලින් නිලධාරියකුගේ ද නිවසක් බිඳ පවුම් 25ක පමණ රන් බඩු සොරා ගත් බවට ද තොරතුරු ලැබුණු බව පොලීසිය කියයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ කොට්ඨාස භාර පොලිස් අදිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ ඒ එස් කරුණාරත්න, පොලිස් සැරයන් 26952 වසන්ත, 64950 නිමල්සිරි, පොලිස් කොස්තාපල්වරුන් වන 12840 ජනක, 55466 සෙනවිරත්න, 380769 කුමාර සහ 68073 ඉසුරු යන මහත්වරු සැකකරු කළ තවත් පරධාර 15ක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.