නියඟයෙන් ලක්ෂ එකහමාරක් අමාරුවේ


දිස්ත‍්‍රික්ක පහක පවුල් 43,302 ක 1,53,391 දෙනකු නියඟයෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල සහ කිලිනොච්චිය යන දිස්ත‍්‍රික්කවල ජනතාව මෙසේ දැඩි පීඩාවකට ලක්ව සිටින අතර මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයටය.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වැලිකන්ද, තමන්කඩුව, දිඹුලාගල, ලංකාපුර, හිඟුරක්ගොඩ සහ මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 18,951 කට අයත් 70,431 දෙනෙක් පීඩාවට පත්ව සිටින අතර මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල්  16,591කට අයත් 57,001 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පවුල් 3867 කට අයත්, 12,677දෙනෙක්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 2377කට අයත් 7732 දෙනෙක් මෙන්ම කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ පවුල් 1516කට අයත් පුද්ගලයින් 5550 දෙනෙක් ද නියඟයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත‍්‍රික්කයන්හි වැව්වල ජල මට්ටම සියයට 30ක් පමණ දක්වා අඩු වී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් සමන් වීරසිංහ පවසයි.