නිධන් ගන්න ගිය තිදෙනෙක් අත්අඩංගුවට


(ඩබ්ලිව්. ඒ. පියතිලක)

නිධානයක් හෑරීම සඳහා ගොස් ආපසු එමින් සිටි තිදෙනකු අදාළ උපකරණ ද සමග හබරණ සීගිරිය හංදියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හබරණ පොලිස්ථානාධිපතිට ලැබුණු තොරතුරකට අනුව මාර්ග බාධක යොදා  පුද්ගලයින් සහ රථවාහන පරික්ෂා කිරිමකදි පොළොන්නරුවේ සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ කාරයක් පරික්ෂා කිරිමේ දි එහි තිබී පොළව පරික්ෂා කිරිමේ උපකරණයක් හමුවී ඇත. එහි සිටි තිදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂා කිරීමේ දී කාරයේ තිබී පොළව පරික්ෂා කරන (ස්කෑන් යන්ත‍්‍ර) සහ පුජා භාණ්ඩ, ගෑස් සිලින්ඩරයක් ආදී උපකරණ රැසක් සොයා ගත් බවත් අත්අඩංගුවට පත් පුද්ගලයින් හෙට්ටිපොළ, හංවැල්ල සහ වැලිසර ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

අම්පාර ප‍්‍රදේශයේ නිධානයක් ගැනීමට ගිය බවත් එහි පුද්ගලයින් සමග බහින් බස් විමක් ඇති වු නිසා නිධානය නොගෙන නැවත කොළඹ බලා  පැමිණෙමින් සිටි බවත් ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී පොලිසිය අනාවරණය කරගෙන ඇත.