නිදහස් සුව සේවාව බලන්න


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යය නායක සමුළුව පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන සුවිශේෂිත අමුත්තන් හැකි පමණින් රිජ්වේ ආර්යා ළමා රෝහලට කැඳවා ශ්‍රී ලංකාවේ  ළමා පරපුරට නොමිලේ සලසන  නිදහස් සෞඛ්‍ය පිළිබඳ ලොවට ප්‍රකාශ කිරීමට අවස්ථාවක් කර ගන්නා බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ  අධ්‍යක්ෂ වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා පවසයි.

‘ළමා රෝහලින් ජාතියේ දරුවන්ගේ සෞඛ්‍යය නඟාලීමට නොමිලේ සලසා දෙන සේවාවට හා සමාන සේවා සැපයීමේ  රෝහල් ලෝකයේ ඉතාම දුලබ බවත් දළ වශයෙන් 4,000,000 ක් පමණ වන ලාංකික දරු පරපුරේ තෘතීයික ළමා රෝග වලට ප්‍රතිකාර කිරීම  අඩු වියදමින් වැඩි සේවාවක්  සැපැයීමේ දුලබ උදාහරණයක්  ලෙස ළමා රෝහල සැළැකිය හැකියි.දිවයිනේ විවිධ ප්‍රදේශවලින්  පැමිණෙන විවිධ ජාතීන්ට අයත් දරුවන්ට  කිසිදු බේදයකින් තොරව සේවා සැපයීම උසස් මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන බලවත් උදාහරණයකි.‘

 මෙම අවස්ථාවේදී එම සත්‍ය ලොවට හඩ නඟා කීම ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබද නැගෙන චෝදනා වලට බලවත් ප්‍රති උත්තරයකි.ලොව සියලුම මාධ්‍යයන්ගේ අවධානය යොමු වන අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු දෙනාගේ යුතුකමක් බව ඒ මහතා කියයි.