( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකා රජයන් අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සළකා බැලීම ලබන ජනවාරි 09 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , නීතී සංගමය , මව්බිම ලංකා පදනම ඇතුළු අට දෙනෙකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම් අද (04) සිසිර ද ආබෲ, නලින් පෙරේරා සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා විදේශගතව සිටින බැවින් සළකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා ඉල්ලීම් කළේය.
ඒ අනුව පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 09 වැනිදා සිදු කිරීමට අධිකරණය තීන්දු කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරු රජය විසින් අත්සන් කර තින නිදහස් වෙළඳ ගිවිසුම මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් එම ගිවිසුමේ අඩංගු ප්‍රතිපාදන මෙරට ස්වෛරීභාවයට මෙන්ම ආර්ථිකයට හා වෘත්තීය කටයුතුවලට දැඩි හානියක් එල්ල කරන බව පෙත්සම්කරුවන් කියා සිටියේය.
මේ හේතුවෙන් අදාළ ගිවිසුමේ අන්තර්ගත ප්‍රතිපාදන මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එම ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

