නිදහස් කළ බහලුම් 323 තුළ නීතිවිරෝධි දෙයක් තිබුණේ නෑ


(යොහාන් භාසුර)

පරීක්‍ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කළ අතර එම බහලුම් තුළ කිසිදු නීති විරෝධි දෙයක් අන්තර්ගතව නොතිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (8) පැවසීය.  

එම බහලුම් පිළිබඳව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී අද (8) පැයවැති විශේෂ  මාධ්‍ය හමුවේදී  සීවලී අරුක්ගොඩ මහතා එසේ පැවසීය.

එම බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙන විත් නැති බවට තමන් විශ්වාස කරන බවත් එම ආනයනය කළ බහාලුම්වල කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝදනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, සිමෙන්ති, දැව වගේ දේවල් අඩංගුව තිබුණු බවත් ඒ මහතා කීය.

ඉන්දියාව සහ චීනය යන රටවලින් එම බහලුම් වැඩි සංඛ්‍යාවක් ගෙන්වා තිබූ අතර ඊට අමතරව ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලින් ආනයනය කළ බහාලුම් ඒ අතර තිබූ බවත් එම බහලුම් නිදහස් කිරීමේදී රේගුව අනුගමනය කළ ක්‍රමවේදය කිසිඳු දෝෂයක් නොමැති යැයි විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.

එම බහාලුම්වල ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි තිබූ අතර එම භාණ්ඩ නිදහස් කිරීමේ ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර බහලුම් නිදහස් කළ බව කී අරුක්ගොඩ මහතා එම බහලුම්වල ආයුධ, රත්තරන්, මත්ද්‍රව්‍ය තිබෙන්නට ඇතැයි චෝදනා එල්ල වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

රේගුව තෝරාගැනීමට මෙම ක්‍රමවේද අනුගමනය කළ නිසා එම බහලුම්වල ඔය කියන කිසිම දෙයක් නොතිබුණෙු විශ්වාසයෙන් කියහැකි බව කී ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වී තිබීම නිසාම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් කිරීමට තීරණය කළ බවත්ය.

ඒ සඳහා පශ්චාත් නිගමන අංශයෙන් මේ වන විටත් විගණනයක් කරමින් සිටින අතර ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත්කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් ද සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයට ලක්කර තිබෙන බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් එම කමිටුවට ගොස් විස්තර දී තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් තොරතුරු දී තිබෙන නිසා ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

එම බහාලුම් නිදහස් කරගැනීමේ ක්‍රියාවලියේදී වෙනත් කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් නොවුණේ බොහොම ස්ථීරවම කිවහැකි යැයි ෆැවසූ ඒ මහතා සඳහන් කළේ 2025 ජනවාරි මස 18 වැනිදා නිදහස් කළ බහාලුම් පිළිබඳව චොද්නා කරන අතර එදින නිදහස් කළ බහාලුම් අතර ආනයනයකරුවන් 180 දෙනෙක් සහ රේගු සටහන් අංක 234 ක් ආනයනකරුවන්ගෙන් ලැබුණු බවත්ය.

බහලුම් 371 කින් බහලුම් 309 ක් පමණක් නිදහස් කර අතර  ඉන් 62 ක්ම රේගු දත්ත පද්ධතිය හරහා නිරායාසයෙන්ම නද්හස් වූ ඒවා බවත් ඒ අනුව කමිටුව හරහා බහලුම් 309 ක් පමණක් නිදහස් කර ඇති බවත් අරුක්ගොඩ මහතා කීය.

එම බහලුම්වල ආනයනකරුවන්ට අදාළ සියලු විස්තර රේගුව සතුව ඇති අතර ඔවුන්ගේ නම්, ලිපිනය, සමාගමක් නම් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද, මේවා නිශ්කාශනය කළේ කවුද කියන සියලු විස්තර රේගුව සතුව තිබෙන බවත් තවද බහාලුම් අංක ආදී සියලු විස්තර අවශ්‍ය පාර්ශවයන්ට යොමුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.

කුමන බහලුම් ද පරීක්ෂා කළ යුත්තේ මොනවාද පරීක්ෂා නොකළ යුත්තේ යැයි අපි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් හරහා තෝරාගන්නා බවත්  බහලුම්වලින් සියයට 60 ක ප්‍රමාණයක් පරීක්ෂා නොකර නිදහස් කරන බවත් ඒ මහතා පැවසීය.

පරීක්ෂා නොකර බහාලුමක් නිදහස් කරනවා කියන එක රේගුවට අලුත් දෙයක් නොවන අතර එය එදත් අදත් ඉදිරියටත් සිද්ධ වන අතර අවදානම මත තීරණ ගන්නා බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.