නැගෙනහිර පන්සල්වලට විදුලි අරියාදුවක්


වසරක කාලයක සිට සති අන්තයේ, සතිමැද නිවාඩු දිනවල සහ පුර පසලොස්වක පොහෝය දිනවල නැගෙනහිර පළාතේ ඇතැම් බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල පැය ගණනනාවක් විදුලිය විසන්ධිවීම වළක්වා දෙන ලෙස විදුලිය බලධාරින්ගෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නැතැයි නැගෙනහිර පළාතේ වෙරුගල්, කල්අඩි, පාෂාණ පබ්බත විහාරාධිකාරී රත්නපුරේ දේවනන‍ද හිමියෝ පවසති.

සති අන්තයේත්, නිවාඩු දිනවලත්, පුර පසලොස්වක පොහෝය දිනවලත් බෞද්ධ වන්දනාකරුවන් නැගෙනහිර පළාතේ සේරුවිල, පාෂාණ පබ්බත සහ ලංකා පටුන වැනි විහාරස්ථාන වැ`දපුදාගෙන රාත්‍රී නවාතැන් ගැනීමට විශාල වශයෙන් පැමිණෙන බවද ඒ හිමියෝ කියති.

එලෙස බෞද්ධයන්ගේ  පැමිණිම නුරුස්සන අන්‍යආගම් කණ්ඩායම් මෙන්ම ජාතීන් අතර එකමුතුබව නුරුස්සන කුඩා පිරිසක් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවේ නිරත බවට සැකයක් මතුවන්නේ යැයි ඒ හිමියෝ  අනුමාන කරති.

පොසොන් පොහෝය දිනයට පෙර දිනයේද සවස සිට පාෂාණ පබ්බත විහාරයටත්, ලංකා පටුන විහාරයටත් විදුලිය විසන්ධිවු බවද උන්වහන්සේ කියති. මේ නිසා රාත්‍රී නවාගැන්ගත් බෞද්ධ බැතිමතුන්ට නවාතැන් ගැනීමේදී ජල ප්‍රශ්නයද උග්‍ර බවත් ඇතැම් අවස්ථාවල සේරුවිල රජමහා විහාරස්ථානයටද මෙම තත්ත්වයන් ඇතිවන බවත් උන්වහන්සේ කීයති. මුතූර් විදුලි ඩිපෝවට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් විදුලි ඉංජිනේරු කාර්යාලයටත්, විදුලි බල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලයටත් මේ සම්බන‍ධව දුරකතනයෙන් පැමිණිලි ගණනාවක් කර ඇතත් මෙතෙක් විසදුමක් ලැබී නැති බවද දේවානන‍ද හිමියෝ කීහ.

මේ දිනවල යහපත් කාලගුණ තත්ත්වයක් එම විහාරස්ථාන අවට ඇතිබව කියන උන්වහන්සේ ස්වභාවික විපත් ඇති අවස්ථාවල විදුලිය විසන්ධි වීමේ ඉඩකඩ ඇතත් මෙසේ යහපත් කාලගුණය ඇති විට එසේ වන්නේ  කෙසේද යන්න ගැටලුවකැයිද කියති.