නැගෙනහිර උසස් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා


නැගෙනහිර පළාතේ නිවාඩු ලබා ගොස් සිටින පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වහා යළි සේවයට කැඳවන ලෙස නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.

ජාතික ප්‍රජා පොලිස් දිනය වෙනුවෙන් මාතරදී පැවැත්වෙන ප්‍රධාන උත්සවයට සමගාමීව අද සිට මාසයක් යන තුරු සියලුම පොලිස් කොට්ඨාසවල ප්‍රජා පොලිස් දිනය සැමරිය යුතු බව පොලිස්පතිවරයා පසුගිය 12 වැනිදා උපදෙස් ලබා දී ඇති නිසා   පෙර සඳහන් කළ සියලු උසස් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර යළි කැඳවන ලෙස එදිරිසිංහ මහතා දැනුම් දී තිබේ.

නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකු කීවේ මෙවැනි කටයුත්තකට පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම අසාධාරණ බවයි. ප්‍රජා පොලිස් දිනය සෑම කොට්ඨාසයකම උත්සවාකාරයෙන් සැමරූ පමණින් සාමාන්‍ය ජනතාව හා පොලිසිය අතර සහයෝගය ගොඩ නැගෙන්නේ නැති බවත්, එලෙස සහයෝගය ගොඩ නැගීමට නම් පොලිසියෙන් වෙන වැරදි නැවැත්වීමට පොලිස් නිලධාරීන් දැනුම් වත් කළ යුතු බවත්, ජනතාව අතර පොලිසිය කෙරෙහි විශ්වාසය ගොඩ නැගිය යුතු බවත් එම නිලධාරියා කීවේය.