කඳුකරයේ අධික වැසි හේතුවෙන් මාතලේ නාවුල බෝවතැන්න ජලාශය පිටාර ගැලීමෙන් විශාල ජල කඳක් පිටවන බවත් අඹන් ගඟ පිටාර මට්ටමට පත්ව ඇති බවත් වාර්තාවේ.
ඇලහැර මාර්ගය හරහා ජලය ගම්මානවලට ඇතුළුවීමෙන් නිවාස රැසක් යටවී ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධව සොයා බැලීමට ගිය නාවුල ප්‍රාදේශීය ලේකම් නිශාන්ත කරුණාතිලක, නාවුල ප්‍රාදේශීය සභා සභාපති සනත් දසනායක හා නාවුල පොලිස් ස්ථානාධිපති අජිත් චමින්ද රාජපක්ෂ මහත්වරු ඇතුළු කණ්ඩායමක් තලාගොඩ විහාරස්ථානයේ කොටුවී සිටින බවද ප්‍රදේශයේ විදුලි බලයද සම්පූර්ණයෙන් ඇන හිට ඇතැයිද පොලිසිය කියයි.
නාවුල ඇලහැර මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇන හිට ඇති අතර මහ පාර යටවීමත්, ප්‍රධාන පාලමක් කඩා වැටීමත් ඊට හේතුවයි.
අද (25) ගමන් බිමන් යාමට පැමිණි පිරිස් මේ හේතුවෙන් අසීරුතාවයට පත්ව ඇත.







