නාවික හමුදාව මාගම්පුර වරායේ වැඩ


විරෝධතාවය හේතුවෙන් අක්‍රිය වී ඇති හම්බන්තොට වරායේ වැඩ කටයුතු කරගෙන යාමට නාවික හමුදා නිලධාරීන් යොදවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පවසයි.

හම්බන්තොට වරායෙන් වාහන 1086ක් නැව්ගත කිරීමේ කටයුතු පසුගියදා නාවික හමුදාව අතින් සිදුකැරිණි.

දෙසැම්බර් (10) උද්ගත වු හදිසි තත්ත්වය නාවික හමුදාව විසින් මැනවින් පාලනය කළ බවත් එමගින් වරායේ ආරක්ෂාව තහවුරු කර අනෙකුත් කටයුතු යථා තත්ත්වයට පත් කළ බවත් නාවික හමුදාව කියයි.

එමෙන්ම වරායේ විදුලි ජනක යන්ත්‍ර සහ විදුලි පද්ධති වල කර තිබු නොයෙකුත් විදුලි විසන්ධි කිරිම් සහ යන්ත්‍රෝපකරණ වලට හානි පැමිණෙන ලෙස යොදා තිබු නොයෙකුත් බාධක ඉවත් කිරිමට සහ ප්‍රකෘති තත්ත්වයට පත් කිරිමට නාවික හමුදා නිලධාරීන්ට සහ නාවිකයන්ට මහත් පරිශ්‍රමයක් දැරිමට සිදුවූ බවත් අලෙවි මහතා සඳහන් කරයි.

දකුණු කොරියා වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාවට කාර් සහ ජීප් රථ 1,086 ක් පැටවිමට නාවික හමුදාව කටයුතු කළේය. එම නෞකාව අද (14) දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත පිටත් විමට නියමිතය.