නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් යළි රිමාන්ඩ්


වැල්ලම්පිටිය ප්‍රදේශය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටි කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගර ගත කර සිටින වැලිසර නාවික හමුදා රෝහලේ විධායක නිලධාරීවරයා ලබන නව වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද  නියෝග කළේය.

මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 2009 වසරේ නාවික හමුදා බුද්ධි අංශයට අනියුක්තව වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි ලූතිනන් කමාන්ඩර් මාපා මුදියන්සේලාගේ ධම්මික අනිල් මාපා මහතාය.

මෙම සිද්ධියට අදාල විමර්ශන නවතා දමන ලෙසට එවකට සිටි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනනායක මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන නිලධාරීන්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත ලබන 28 වැනිදා බන්ධනාගාරය වෙත ගොස් ප්‍රකාශයන් සටහන් කර ගත යුතුව ඇතැයි ද  රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.