නාවලපිටි මාර්ගය එක් මංතීරුවකට සීමාවෙයි


රංජිත් රාජපක්ෂ

 

නාවලපිටිය ප්‍රදේශයට අද (16) පස්වරුවේ ඇදහැලුණු අධික වැසි සමඟ ප්‍රධාන මාර්ගයේ අභියස ගාල්කර තිබු ලොරි රථයක් මතට අත්තක් සහ විදුලි  රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

අද පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව දෙවැනි සහ තෙවැනි දුම්රිය හරස් මාර්ග අසළදීය.

ගසේ අත්ත සහ කඩා වැටුණු විදුලි රැහැන් පද්ධතිය  ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (16) පස්වරු 3.00 සිට 4.00 දක්වා එක් මංතීරුවකට සීමාකර තිබේ.

ප්‍රධාන මාර්ගය ඉදිරියෙහි වූ විශාල මාර ගසක අත්තක් ඒ අසළ තිබූ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සමඟ  මාර්ගය අභියස ගාල් කර තිබූ  ලොරි රථයක් මතට කඩා වැටී ඇත.

මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර  ගසේ අත්ත කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වී ඇත. නාවලපිටිය වරකාව ප්‍රදේශයට විදුලිය ද ඇණහිට තිබේ.