නාලක ද සිල්වාගේ කටහඬේ පරීක්ෂණ වාර්තාව සති තුනකින් අධිකරණයට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කලැයි කියන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ කටහඬේ පරීක්ෂණ වාර්තාව සති තුනකින් අධිකරණය වෙත ලබා දෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රස පරීක්ෂක ඒ.වැලිඅංග මහතා පැවැසීය.

මෙම ඝාතන සිද්ධියේ අදාල පැමිණිල්ල ඊයේ 27 අධිකරණයේ යලි කැඳවු අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයක් අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (28) පෙරවරු 10.00ට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනි සිටියේය.

අපරාධ නඩු විභාග සංග්‍රහ පනතේ 127 වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය , නියෝජ්‍ය පොලිස්පතිවරයා කටහඬ පරීක්ෂාව සඳහා යොමු කර ඇති බව රජයේ ප්‍රධාන රස පරීක්ෂකවරයා වෙත බාර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කෙරිණි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කටහඬේ පරීක්ෂණය පැය භාගයකට ආසන්න කාලයක් ලබා ගත් බව  අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

ඝාතන සිද්ධිය අනාවරණය කළ දුෂණ විරෝධී බලකායේ විධායක අධ්‍යක්ෂ ජනරාල් නාමල් කුමාර මහතාගේ කටහඬ පරීක්ෂණය ඉකුත් 26 වැනි දින රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තු මගින් ලබා ගැනීම සිදු කෙරිණි.