නාමල් සමාගමකින් කොටස් අරන් : වත්කම් ප්‍රකාශයේ ඒ ගැන නෑ


අයථා ලෙස ඉපැයූ මුදල් වලින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාගමක කොටස් ගත්තැයි  දූෂණ විරෝධී හඬ සංවිධානය කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය අද තවත් වාර්තාවක් ගොනු කළේය.

නාමල් රාජපක්ෂ එම සමාගමේ ප්‍රධානියා වී යැයිද හෙලෝ කෝප් සමාගමේ රුපියල් කෝටි 12.5 ක කොටස් මිලදී ගත්තැයිද එම පැමිණිල්ලේ දැක්වේ.

එෆ්සීඅයිඩිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම සමාගමේ සේවකයන් හත් දෙනකුට එතෙර ගමන් තහනම් කරන ලෙසයි.

එෆ්සීඅයිඩිය ඉල්ලා සිටි පරිදි බැංකු කිහිපයක ගිණුම් 4ක් තහනම් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම සමාගමේ සැකකරුවන් 7 දෙනාගේ එතෙර ගමන්ද තහනම් කළේය.

ඔවුන් එතෙර යෑමට උත්සාහ කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එන්.ආර් කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විකිණීමෙන් ලද මුදල් වලින් හෙලෝ කෝප් සමාගමේ කොටස් මිලට ගත්බව නාමල් රාජපක්ෂ එෆ්සීඅයිඩියට ලබාදුන් කටඋත්තරයේ සඳහන්වේ.

තම වත්කම් බැරකම් ප්‍රකාශයේ මේ ගැන සඳහන් කර නැතැයි ද නාමල් රාජපක්ෂ එෆ්සීඅයිඩියට කියා ඇත.