(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළ තවත් හඬ පට සහ එම කුමන්ත්‍රණයට අදාළව ප්‍රංශයේ සිට මුදල් එවූ බවට සඳහන් රිසිට් පත්‍රවල පිටපත් සහිත සී ඩී තැටියක් දූෂණ විරෝධී බළකායේ විධායක අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා විසින් ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.
මේ සිද්ධියට අදාළව සහ නාමල් කුමාර මහතාගේ නිවසේ සිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් ඔහුගෙන් ඊයේ පැය හතරකට වැඩි කාලයක් නැවත ප්‍රකාශ සටහන් කරගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සමග නාමල් කුමාර පැවැත්වූ බව කියන තවත් දුරකතන සංවාද කිහිපයක් ඇතුළත් හඬපටද ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකිකයකු මනිග්‍රෑම් සේවාව ඔස්සේ ඔහුට එවූ බව කියන මුදල්වලට අදාළ රිසිට්පත් කිහිපයක පිටපත් අඩංගු සී.ඩී. තැටියද මෙසේ බාරදුන්බව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
මේ අතර මෙම සිද්ධියට අදාළව අධිකරණ නියෝග ප්‍රකාරව කටහඬ පරීක්ෂාව සඳහා නාමල් කුමාර මහතා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඊයේ (26) ඉදිරිපත් කළ බවද එම නිලධාරියා කීය.
මෙම කටහඬ පරීක්ෂාව සඳහා පැමිණිලිකරු පැය දෙකක කාලයක් රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පරීක්ෂාවට භාජනය කර සිටි බවත්, එහිදී එම නිලධාරින්ගේ හරස් ප්‍රශ්න විමසීම්වලටද ඔහු පිළිතුරු දී ඇති බව වාර්තාවේ.
මෙම කටහඬ පරීක්ෂාව සඳහා නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ද රජයේ රස පරීක්ෂකවරයා වෙත අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා එම කටහඬ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අධිකරණ නියෝග ප්‍රකාරව එම යොමුකිරීම සිදුකරනු ලබන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ප්‍රශ්නගත දුරකථනයේ අන්තර්ගත හඬපටවල ඇති හඬවල් නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධී බලකායේ විධායක අධ්‍යක්ෂ නාමල් කුමාර යන දෙදෙනාගේ කටහඬවලට සැසඳෙන්නේ ද යන්න තීරණය කිරීම සඳහා ඒ දෙදෙනා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් විය යුතු දිනයක් සහ වේලාවක් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසට නියෝග කරමින් අධිකරණය ඉකුත් 19වැනිදා රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබිණී.


ඡායාරූප - ළහිරු හර්ෂණ

