(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන දෙදෙනාගේ කටහඬ, අදාළ දුරකතන සංවාදය සමග සැසඳෙන බවට රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ දෙදෙනාගේ කටහඬ පරීක්ෂාවට අදාළ රස පරීක්ෂක වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (08) රජයේ රස පරික්ෂකවරයා වෙතින් ලබාගෙන ඇති අතර සඳහා එය එම දෙපාර්තමේන්තුව විසින් ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දෙනු ලැබීය.
එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දෙනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
මිනීමැරුම් විමර්ශන අංශයේ උ.පො.ප. කේ.එම්.එම්. කුමාරසිංහ මහතා විසිනි.
මෙම වාර්තාව සූදානම් බවට රජයේ රස පරීක්ෂකවරයා පෙරේදා (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ෆැක්ස් පණිවිඩයක් මගින් කර තිබූ දැනුම්දීමට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව වෙත නියෝග කළේ එම වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා වෙතින් ලබා ගන්නා ලෙසය.
මෙම සිද්ධියට අදාළ දුරකථන සබඳතාව සම්බන්ධයෙන් කටහඬ සාම්පල් පරීක්ෂාව සඳහා නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා රජයේ ප්‍රධාන රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් වූයේ ඉකුත් 28 වැනිදාය.
මෙම කටහඬ පරික්ෂාව සඳහා සිද්ධියේ පැමිණිලිකරු වූ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් 26 වැනිදා ය.
මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පවතින නඩුව සඳහා සහාය වීමට පෙරේදා (08) අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා සහ නාමල් කුමාර යන දෙදෙනාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කෙරිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නැගෙනහිර පළාතේදී ද, සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාට කොළඹදී ද අනතුරක් සිදුකරන්නැයි ද පොලිස් කොමිසමේ නිලධාරීන්ට හා උසස් පොලිස් නිලධාරීන්ට අපහාස වන අන්දමින් සමාජ ජාලා වෙබ් අඩවිවලින් සහ මුහුණු පොතින් තොරතුරු පළකරන්නැයි ද නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමාට පැවසූ බවට නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ වූ ජංගම දුරකතනයේ ඇති දත්ත විශ්ලේෂණය කර වාර්තාවක් වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ඉකුත් නඩු දිනයේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් ද නිකුත් කර ඇත.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ මර්සියෙල් තෝමස් නැමැති ඉන්දියානු ජාතිකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටද අධිකරණය ඉකුත් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබිණි.